Home » මේ නත්තල් පප්පා ගෙට කඩාගෙන ඒම නොවේ

මේ නත්තල් පප්පා ගෙට කඩාගෙන ඒම නොවේ

by sachintha
August 14, 2024 1:00 am 0 comment

පරාක්‍රම කොඩිතුවක්කු කිවියරයාණෝ ඒ වර්ගයා හඳුන්වන ලද්දේ ‘දෙවියන්ගේ මිනිස්සු’ කියාය. නිසි අනාගතයක් නොමැතිව වත්තකට අත්හල ජනතාව, දශක ගණනාවක් නොව සියවස් ගණනාවක් සිටියේ කරකවා අතහැරියා සේය. ලයින් කාමර ජීවිතය, අප්‍රිකාවේ දුගී ගෝත්‍රික පරිසරයක් බඳුය. වත්තෙන් එපිට සංචරණය කළ නොහැකි ආකාරයට එහි හැඩරුව හැම අතින්ම නිමවා ඇත්තේය. ලයින් කාමර පේළියෙන් එපිටට කිසිවක් හිතන්නේ නැති තරමට ඔවුනගේ ජීවනය කොටු කර ඇත්තේ හෙයින් කහට වඩිය, පාන් කෑල්ල සමඟ මුසුව, ඒ දවස ගත වන්නේය. රණ්ඩු සරුවල් ආදිය බහුලය. පවුලක් ලෙස දිවි ගෙවීම අහිමිය.

ඇක්ලැන්ඩ් බොයිඩ් සමාගම හෝ හඩ්සන් වැන්ඩ්ලර් සමාගම වන්, බ්‍රිතාන්‍ය වැවිලිකාර නියෝජිත ආයතන වතු පරිපාලනය සඳහා ඕවර්සියර්ලා පත් කරගනු ලැබුවේ, බ්‍රිතාන්‍ය හමුදා රෙජිමේන්තුවල සිටි අධිකාරි නොවන නිලධාරීන්ය. ඔවුහු යටත් විජිත ශ්‍රේෂ්ඨත්වය මනසේ රජකරගෙන සිටි පිරිසකි. මනුෂ්‍යත්වය නොව මේ සෑම මිනිසෙක්ගේම ලේ සහ දහදිය වත්තට පොහොර විය යුතු යැයි ඔවුහු අදහන ලද්දෝය. තළා පෙළා වැඩ ගැනීම සාමාන්‍ය සිරිත විය. එයට අනුගත නොවූ විට දණ්ඩනය දරුණු විය. වත්තේ සේවය නොව එයට බැඳ දැමීම, මෙම කම්කරු ගතිකයේ ස්වරූපය විය. කම්කරුවන්ට වැඩ බිම හැර යෑම තහනම් විය. නිදහස් වීමේ බලපත්‍රයක් නොමැතිව ඔවුනට මහා සමාජයට ඇතුළු විය නොහැකි ආස්ථානයක් ඇති කළේය. වත්තේ ප්‍රවේණි දාසයෝ මිස නිදහස් කම්කරුවෝ බවට වතු සේවක ප්‍රජාව පත් නොවූහ.

ඔවුනට එකම සරණ වූයේ සිය පරම්පරාවෙන් ආ දේව ඇදහිල්ල පමණය. වත්තේ හෝ ලයින් කාමර පෙළේ, ‍ෙකළවරක ඇති දේවාලයට දුක කියනු විනා ඒ අඳෝනාව ඇසීමට මිනිසුන් අතර කිසිවෙක් නොසිටියේය. මේ නිසා ඔවුන් තරම් දෙවියන් අදහන ජනකායක් නොසිටියේය. ඒ ජන ඝනත්වය දෙවියන්ගේ මිනිසුන් වූයේ එබැවිනි.

වතු ප්‍රජාව සඳහා රුපියල් 1700ක අවම දෛනික වැටුපක් සඳහා වන සටනේ නිරත වූයේ වතු කම්කරු ප්‍රජාව හෝ ඔවුනගේ කරට අඩිය තබා දේශපාලනයේ ඉහළ පුටු සඳහා පත්වූ පිරිස නොවේ. ආණ්ඩුවය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වතු කම්කරු වැටුප 1700ක් බවට පත් කිරීම සඳහා ගන්නා උත්සාහයට අනෙක් සියලු කම්කරු ප්‍රජාව දක්වන ලද්දේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. යම් හෙයකින් ඒ ආකාරයට වැටුප් වර්ධනය වුවහොත්, තම දේශපාලනයට එහි ලකුණු නොලැබෙනු ඇතැයි සිතා සමහර කම්කරු හිතවාදී පක්ෂ වැඩේට එරෙහිව වෙනම වැඩ කොටසක් ඉටු කළේය.

සමාගම් ගණනාවක් වැඩේ පස්සට ඇදීම සඳහා සැලසුම් සකස් කර තිබුණි. අධිකරණය හමුවට ගොස් මෙම වැටුප් වර්ධකය නවතා දැමීම සඳහා තවත් පිරිසක් ට්‍රයි එක දුන්නාහ. ඒ සියල්ල ඊයේ සන්ධ්‍යාවේ සෙට්ට පෝච්චි කරමින්, පඩිපාලක සභාවේ බහුතර ඡන්දයෙන් වතු සේවක දෛනික වැටුප රු.1700ක් බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි විය. ආණ්ඩුව මේ සඳහා වතු සමාගම් සමඟ අරගල කරද්දී ‘සකල දේශවාසී කම්කරුවනි, එක්වව්’ යනුවෙන් ජීවිත කාලය පුරාම මොරදුන් පිරිස සිටියේ, වතු ජනයාගේ දීමනාව වැඩි කරන පැත්තේ නොවේ. අනික් පසට ආවඩමින්ය.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ පුවත් සාකච්ඡාවේදී රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්නය සඳහා අලුත් පැකේජයක් ස්ථිර වී ඇති බව දැනුම් දුන්නේය. මෙම පැකේජය වනාහි අතට ගාණක් ඒම පමණක් ලෙස සරලව විග්‍රහ කර ගත යුත්තේ නැත. ලබන වසර සඳහා අය වැය ලේඛනය සැකසෙන්නේ නිකම්ම නොවේ. ඒ සඳහා පනත් ගණනාවක් ආවරණය කරමින් නිර්ණායක ගත යුත්තේය. ආර්ථික පරිවර්තන පනත වැනි විෂය මූලික කාරණා නෛතික සම්මුතීන් ලෙස පාර්ලිමේන්තුව සම්මත කර ඇත්තේ බංකොලොත්භාවයෙන් ගොඩ යෑමට එහා ගිය අරමුණක් ඇතිවය. මේ රටේ ආර්ථිකය යළි පෝලිම් ගානේ ලගින තැනකට නොගෙනේම සඳහාය.

ඉන් රාජ්‍ය සේවයේ ඉදිරි වැටුප් සම්බන්ධයෙන් වන පූර්වකෘත්‍ය මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ, ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් පනස් පන්දාහක් වනු ඇත. එය දුටුවන පක්ෂය ලේබලයෙන් බලන පිරිස සිතනු ඇත්තේ ආණ්ඩුව ළඟ නමා කැරට් අල බෙදමින් පවතින බවය. මේවා ආණ්ඩුව හිතුමතේ දේශපාලන සෙල්ලම් ඇල්ලීම සඳහා සිදු කරන දේ නොවේ. මේ රටේ රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රශ්නය විසඳීමට වඩා ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙක, කරට අත දමා තැබිය හැක්කේය. පුටින් ලවා යුක්රේනයෙන් සමාව භජනය කළ හැක්කේය. එහෙව් වැටුප් සහ ශ්‍රේණි යන දෙක එකට අනා ඇති රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රශ්නය සඳහා සදාකාලික විසඳුමක් සකස් කිරීමට හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් රජය පත් කළේය. එහි අතුරු වාර්තාව අනුව රාජ්‍ය සේවයේ ශ්‍රේණි නව ආකාරයකට පෙළගැස්වීමට යෝජනා කර ඇත. බඳවා ගැනීම් ආදිය සඳහා නව ක්‍රමවේද පෙන්වා දී ඇත. ඒ අනුව සැකසුණු වැටුප් ක්‍රමවේදයක් ද ඇත. මේ නත්තල් පප්පා මල්ල අරගෙන එනවා නොවේ. මේ රටේ රාජ්‍ය සේවය සඳහා වන වැටුප් සැකසුම, මූල්‍ය අරමුදලේ එකඟතා සමඟ සමපාත කර එළිදැක්වීමක් පමණය. එතැනින් පටන් ගත් වන, අතට එන ගාණට වඩා කතාවක් මෙතැන ඇත. එය සැලසුමක ආරම්භයක් ලෙස ගෙන මේ සඳහා වන කතිකාවත සිදු කරන මෙන් ඉල්ලා සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT