Home » රට වට්ටන පාපයට මට අත ගහන්න බෑ

රට වට්ටන පාපයට මට අත ගහන්න බෑ

-ජනපති දිනවන සම්මුතියට රාජිත අත්සන් තබයි

by sachintha
August 14, 2024 1:00 am 0 comment

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව ඊයේ (13) සවස දැනුම් දුන්නේය.මහා සංඝරත්නයේ සහ අන්‍ය ආගමික පූජකතුමන්ලාගේ ආශීර්වාද මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජිත සේනාරත්න මහත්වරුන් අතර “රාජිතගේ තීරණය“ සම්මුතියට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ රට වට්ටන පාප කර්මයට සම්බන්ධ වීමට තමාට නොහැකි බවත් තමා රට ගොඩනැඟීම සඳහා කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවය. සැප්තැම්බර් 22 වැනිදා මේ රටේ නියත ජනපති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි සේනාරත්න මහතා එහිදී පවසා සිටියේය.

චතුර සේනාරත්න මහතාට සහ තමාට ඉල්ලන ඕන දෙයක් දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවත් ඔහු තමාටත් තමා ඔහුටත් ආදරේ වුවද එයටත් වඩා තමා මාතෘභූමියට ආදරේ කරන බවත් හෙතෙම කීවේය.

අපගේ අනාගත පරම්පරාවට මේ රට ආරක්ෂා කිරීමේ අයිතියක් අපට ඇති බවත් කෙළෙහිගුණ සැලකීමත් මෘතෘභූමියත් අපේ රටේ අහිංසක ජනතාවත් දුකෙන් මුදා ගැනීම තමාගේ එකම අභිප්‍රාය බවත් රාජිත සේනාරත්න මහතා කීය.

තමා ටික කාලයක් ඈත්ව සිටි තමාගේ මහ ගෙදරට නැවත පැමිණි බව ද අද සිට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරනු පිණිස තමාගේ කාලයත් ධනයත් එකම ආකාරයට වියදම් කරමින් නොනවතින ගමනක් ඉදිරියට යන බව ද කියා සිටියේය. එහි ප්‍රතිඵලය ලෙස සැප්තැම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු රනිල් වික්‍රමසිංහ ලක්ෂ ගණනාවක ඡන්දයකින් රටේ ජනාධිපති බවට පත්වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, හින්දු, කතෝලික, මුස්ලිම් පූජකතුමන්ලා, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එජාප ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එජාප ජාතික ලේකම් රවි කරුණානායක, හිටපු ඇමැති මනූෂ නානායක්කාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු සහ හිටපු මැති ඇමැතිවරු, කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත, මැද කොළඹ සමූහ

ඡායාරූපය – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT