Wednesday, April 23, 2025
Home » Rising Stars බැඩ්මින්ටන් ඇකඩමියෙන් නව තාක්ෂණය සමඟ පුහුණුවක්

Rising Stars බැඩ්මින්ටන් ඇකඩමියෙන් නව තාක්ෂණය සමඟ පුහුණුවක්

by sachintha
August 13, 2024 1:37 am 0 comment

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුහුණු ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රගතිය මත බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙරටට පැමිණීමට විදෙස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ලොකු උනන්දුවක් දක්නට ලැබෙන බව Rising Stars Badminton Academyහි නිර්මාතෘ හා සභාපති ක්ලැරන්ස් හෝමර් මහතා ප්‍රකාශ කළේය.

1996 මෙරට බැඩ්මින්ටන් ජාතික ශූරයා සහ ජාත්‍යන්තර පදක්කම්ලාභී ප්‍රවීණ බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලැරන්ස් හෝමර් මහතා 1996 සිට වසර දහයක් මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 (යුගල) ක්‍රීඩකයා ද විය.

ක්ලැරන්ස් හෝමර් මහතා මේ බව කියා සිටියේ පසුගියදා (17) තලවතුගොඩ, කලල්ගොඩ පිහිටි එම ඇකඩමියේ පැවති මාධ්‍ය හමුවේදීය.

සෑම තරාතිරමකම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ නිවැරදි තාක්ෂණය සහිත පුහුණුවක් ලබාදීම ඇකඩමියේ අරමුණ බවත්, 2028 වසරේ දී ඔලිම්පික් තරගාවලියට සහභාගිත්වයට හෝ නියෝජනයට නොව තරග කිරීමට ශ්‍රී ලංකාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දෙදෙනකු යැවීම තම ඇකඩමියේ ඉලක්කය බවත් හෝමර් මහතා කීය.

තම ඇකඩමියේ ඉලක්කය තනි ක්‍රීඩකයන් ගොඩනැඟීම නොව බැඩ්මින්ටන් ක්‍රීඩා කණ්ඩායම් ගොඩනැඟීම බවත්, ජාත්‍යන්තරයේ ඇති නව තාක්ෂණික (Modern Technique) සංවර්ධනයන් ආශ්‍රිත පුහුණුව තත්කාලීනව ලබාදීම අරමුණ බවත් පැවැසීය. “ අපේ ඇකඩමිය තුළින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සේවය ලබා දෙනවා. එසේම විදේශ රටවල පුහුණු ඇකඩමි සමඟ ඒකාබද්ධ වෙමින් පුහුණු සැසිවාර සහ පුහුණු හුවමාරු වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා” ක්ලැරන්ස් හෝමර් මහතා පැවසීය.

මේ වන විට ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දුනීසියාවේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් සහ ශ්‍රී ලංකාවේ සිටි ජාතික පුහුණුකරු වන ටෝනි වහීඩි සමඟ බුවනෙක ගුණතිලක ඇතුළු ඉහළ පෙලේ පුහුණුකරුවෝ පිරිසක් කටයුතු කරති. සෑම මාස තුනකටම වරක් මාලදිවයිනේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 15-20 අතර පිරිසක් ද බංග්ලාදේශයේ ක්‍රීඩක ක්‍රීඩකාවන් ද මේ ඇකඩමියේ පුහුණුව උදෙසා ගිවිසුම් අත්සන් කර ඇත. ඉදිරියේ දී ඉන්දියාව, කැනඩාව සහ අමෙරිකාව යන රටවලද පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතයි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT