කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට පොලිස් බලප්‍රදේශයේ දී පාර ආසන්නයේ නතර කර තිබුණු ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තිදෙනකු මිය ගොස් තිදෙනෙක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර, ගෙලිඔය, මුරුතගහමුල නූර්මහාල් අංක 321 ලිපිනයේ පදිංචිව සිටි 60 හැවිරිදි ජමාල්දීන් මොහොමඩ් නසාර්, එම ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි මොහොමඩ් හෂිම් සිත්ති මිස්රියා හා මාස 4 ක් වයසැති පිරිමි දරුවෙක් වන මොහොමඩ් රම්ලාම් මොහොමඩ් රිෂ්නාප් නමැති තිදෙනාය. තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත්තේ 32 හැවිරිදි මොහොමඩ් ෂාරුක් සිත්ති සර්මිලා, 5 හැවිරිදි මොහොමඩ් රම්ලාන් අහමඩ් රිනාප් හා 26 හැවිරිදි මොහොමඩ් ෂාරුක් සිත්ති පරීනා යන තිදෙනාය.
වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 32 හැවිරිදි මොහොමඩ් ෂාරුක් සිත්ති සර්මිලා නමැත්තිය ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ විද්‍යාලයක වසර 5ක පමණ කාලයක සිට සේවය කරන බවත් ඇයට මාස හතරක පිරිමි දරුවෙක් සිටින බවත් පොලිසිය පැවසීය. මාස හතරක කුඩා දරුවකු සිටින නිසා පුස්සැල්ලාව විද්‍යාලයට යාමට තවදුරටත් දුර බවත් ගම්පොළ සහිරා විද්‍යාලයට මාරුවීමක් ලබා ගැනීමට මාස හතරක අත දරුවා, අවුරුදු 5ක පිරිමි දරුවා පවුලේ පිරිසක් සමඟ බත්තරමුල්ල, ඉසුරුපායට ඊයේ (12) අලුයම 4ට නිවෙසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
ස්ථාන මාරුව හදාගෙන ඇති ගුරුවරිය ඇතුළු පිරිස ආපසු සියලු දෙනා යළි මුරුතගහමුල නිවෙස දක්වා ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය. දංඕවිට පොලිස් වසමේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී දහවල් 12.30ට පමණ මාර්ගය පිටත නතර කර තිබුණු ලොරි රථයක ත්‍රිරෝද රථය ගැටී හය දෙනාම තුවාල වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණු බවත් පොලිසිය පැවසීය.
වරකාපොළ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ගුරුවරියගේ ඇකයේ සිටි බිලිදා ඇතුළු තිදෙනෙක් මිය ගොස් සිටි බවත් සෙසු තිදෙනා හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණ. ගුරුවරිය තුවාල ලබා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර 26 හැවිරිදි මොහොමඩ් ෂාරුක් සිත්ති පරීනා නමැති කාන්තාව බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
මෙම ත්‍රිරෝද රථයේ හය දෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර රියැදුරු පෙරේදා (11) කොළඹ විවාහ මංගල උත්සවයකට සහභාගිවී ආපසු ඊයේ (12) අලුයම 3 ට මුරුතගහමුල නිවෙසට ගොස් ඇති බවත් යළි පාන්දර 4ට පිරිස සමඟ ත්‍රිරෝද රථයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය වෙත ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවත් රියැදුරුට නින්ද යන්නට ඇති බවටත් පොලිසිය සැක පහළ කරයි.
මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (12) සවස බී.ඒ.ඩී.සී. බාලසූරිය මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණු අතර හදිසි මරණ පරීක්ෂණය වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිතය. දංඕවිට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ශාන් පෙරේරා, පොලිස් සැරයන්වරුන් වන දේශප්‍රිය (35409), ධනුෂ්ක (42304), චන්දන (72379) යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළහ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්
කොටදෙණියාව සමූහ – එම්. පුෂ්ප කුමාර