Wednesday, April 23, 2025
Home » හම්බන්තොටින් ජනපති රනිල්ට ඉහළම ජයක් අත්කර දෙනවා

හම්බන්තොටින් ජනපති රනිල්ට ඉහළම ජයක් අත්කර දෙනවා

-ඇමැති මහින්ද අමරවීර

by sachintha
August 12, 2024 1:30 am 0 comment

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා ඉදිරි ජනාධිපතිවරණයේදී කැපවීමෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කමිටු සංවිධායකවරුන් එකඟත්වය පළ කර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මේ පක්ෂ තුනේම සංවිධායක කමිටු 576ක නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පෙරේදා (10) පැවැත්වූ අවස්ථාවේ මේ එකඟතාව පළ කරනු ලැබීය. මේ සාකච්ඡාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ඇමැති මහින්ද අමරවීර, ආනන්ද කුලරත්න මහත්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ සංවිධාන කර තිබිණි.

මෙහිදී අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා මෙලෙස කීවේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉහළින්ම ජයග්‍රහණය කරවීමට අපේ උපරිම දායකත්වය දෙනවා. මේ මැතිවරණයේදී මම මගේ මැතිවරණයකටත් වඩා කැපවී කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණය අපි ජය ගත යුතුයි. මෙතැනට අද පැමිණ සිටින සියලුම සංවිධායකවරුන් මින් පෙර මේ විදියට එක්රැස්වී එකම අරමුණකට කටයුතු කර නෑ. අපි ඔක්කොම අපේ පක්ෂය දිනවීමට වෙන්වී කටයුතු කළ පිරිසක්. නමුත් අද අපි සියලු දෙනා එකම අරමුණක්, එකම ඉලක්කයක් ජයගැනීමට එක්වී සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම අපේ එකම අරමුණයි. එතුමා රට භාර ගන්න විට තිබු තත්ත්වය මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. රටේ පොහොර නෑ. ඉන්ධන නෑ, ගෑස් නෑ. කිරිපිටි නෑ. පැය 13ක් එක දිගට විදුලිය කපනවා. රටම අඳුරේ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. තෙල් බවුසරයක් පෙට්‍රල් ෂෙඩ් එකට එනකොට රතිඤ්ඤා පත්තු කර වැඳලා පිළිගත්තේ. එහෙම යුගයකට අපි මුහුණ දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම දැනුමෙන්, අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් මේ තත්ත්වය ඉතාමත් හොඳට කළමනාකරණය කළා. ඒ නිසා තමයි වසර දෙකක් යන විට අද රට තිබෙන මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ.

ඒ නිසා නැවත එවැනි යුගයක් උදා නොවන්න අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා අපි සියලු දෙනා මේ ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අපේ උපරිම සහයෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට දෙන්න කැප වෙමුයි කියා ඉල්ලා සිටිනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT