Wednesday, April 23, 2025
Home » වැලි හෑරූ වළක නාන්න ගිය තිදෙනාගෙන් සිසුවිය ජීවිතක්ෂයට

වැලි හෑරූ වළක නාන්න ගිය තිදෙනාගෙන් සිසුවිය ජීවිතක්ෂයට

-74 හැවිරිදි සීයා අනෙක් දෙදෙනා බේරා ගනී

by sachintha
August 12, 2024 1:21 am 0 comment

වැලි හාරන ලද වළක දිය නාමින් සිටියදී එහි ගිලුණු දරුවන් තිදෙනකුගෙන් දෙදෙනකුගේ ජීවිතය බේරා ගැනීමට 74 හැවිරිදි වැඩිහිටියකු සමත්ව ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ අපේක්ෂිකා නිම්සාරනි (14 ) නමැති දැරියයි. මේ දැරිය පසුගිය 09 වැනිදා පස්වරුවේ තවත් දරුවන් දෙදෙනකු සහ සීයා සමඟ නිවෙස පිටුපස පිහිටි වැලි හාරා වතුර පිරී ඇති වළට ගොස් ඇත්තේ දිය නෑමටයි. පුරුද්දක් ලෙස ඔවුන් මෙහි දිය නෑම සිදු කරන බව සඳහන්ය. දියේ ගිලුණු මේ දෙදෙනා සිටි තැනට සීයා පොල් අත්තක් දමා ඔවුන්ගේ දිවි බේරා ගැනීමට උත්සාහයක් දරා ඇත. එහිදී දරුවන් දෙදෙනෙක් පොල් අත්තේ එල්ලී දිවි බේරා ගත්ත ද අනෙක් දරුවා දියේ ගිලී මිය ගොස් ඇත.

මේ සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ සීයා වන ඩබ්ලිව්. සිරිපාල මෙලෙස පැවැසුවේය.

“මම හදවත් රෝගියෙක්. මේ දරුවන් ගිලෙද්දී මට බලාගෙන ඉන්න පුළුවන්ද? උදව් ඉල්ලලා කෑ ගැහුවත් කාටවත් ඇහුණේ නෑ. පස්සෙ මම අතට අහුවුණ පොල් අත්ත දාලා ඒක අල්ලගන්න කිව්වා. ඒක දෙන්නෙක් අල්ලාගෙන බඩ ගාගෙන වගේ ගොඩට ආවා. ඒත් ලොකු ළමයට එන්න බැරි වුණා. මට දියට බහින්නත් බෑ. මම කළේ ඉක්මනට දුවට කියපු එක. ඒ වෙනකොට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි.”

මාදම්පේ සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ මෙලෙස වැලි ගොඩ දැමූ වළවල් විශාල ප්‍රමාණයක් තිබෙන අතර, ඒ හේතුවෙන් මේ වන විට දරුවන් කිහිප දෙනකුගේම ජීවිත ද අහිමිවී තිබේ. වැලි ගොඩ දැමීමේදී එම ස්ථාන සංවර්ධනය කරන බවට පොරොන්දු වුවත් ඒවා කිසි දිනෙක සිදු වී නොමැත. මේ පිළිබඳව සොයා බැලීමට ඇති ආයතන ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

ප්‍රසාද් පුර්ණමාල් – පුත්තලම දිසා සමූහ,මාරවිල සමූහ – මිහිර විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT