Wednesday, April 23, 2025
Home » වැරදි පාරේ අම්බුළුවාව කන්ද නඟින්න යද්දී පෙරළී ආ ගලට යටවී තරුණයකු මරුට

වැරදි පාරේ අම්බුළුවාව කන්ද නඟින්න යද්දී පෙරළී ආ ගලට යටවී තරුණයකු මරුට

by sachintha
August 12, 2024 1:13 am 0 comment

දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුළුවාව කඳු මුදුන නැඟීමට ගිය සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක අයකු මතට විශාල ගලක් පෙරළීවිත් එයට යටවීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඕවිට, මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දියේ සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස් හත් හැවිරිදි දෙදරු පියෙකි.මොහු සිය බිරියට ද නොකියා පසුගිය 09 වැනිදා අලුයම දෙකට නිවෙසින් පිටව ඔහුගේ මිතුරන් සිව් දෙනකු සමඟ මේ ගමන පැමිණ ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා පැවැත්වූ මරණ පරීක්ෂණයේදී හෙළි විය.

මොවුන් සිව් දෙනා රුපියල් පහළොස් දහසක් ගෙවා ත්‍රිරෝද රථයක් කුලියට ගෙන අලුයම දෙකට පිටත්ව උදෑසන හත වන විට ගම්පොළට පැමිණ තිබේ.

ගම්පොළ නගරයෙන් ආහාර ද රැගෙන අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කඳු මුදුන පිවිසුම් මාර්ගයට යමින් සිටියදී ඊට කිලෝමීටරයක් පමණ ආසන්නව සිටියදී ත්‍රිරෝද රථයේ එක් රෝදයක හුළං අඩු වූ බව මොවුන් සඳහන් කර තිබේ. එම රෝදයට හුළං පුරවා ගැනීමට රථය ගම්පොළ නගරය වෙත යවා මොවුන් එම ස්ථානයෙන් ඉහළට තිබූ කුඩා කැලෑ මාර්ගයකින් කන්ද නැඟීම ආරම්භ කර තිබේ. කිලෝමීටර් එකහමාරක් පමණ කඳු මුදුන නඟිමින් සිටියදී කුඩා ඇළ මාර්ගයක් හමුවී එහි තිබූ ජලය බීමට දෙදෙනකු නැවතී සිටියදී අනෙක් දෙදෙනා කන්දේ ඉහළට නැඟ තිබේ. එක් අයකු අඩිය තැබූ විශාල ගලක් ගැලවී පහළට පෙරළී ඇති අතර, ඔවුන් දෙදෙනා කෑගසා පහළ දෙදෙනාට අයින් වන ලෙස පවසා තිබේ.

ඒ අනුව පහළ දෙදෙනා දෙපැත්තට දිව ගොස් ඇති අතර, දකුණු පස සිටි අය යට කර ගනිමින් එම ගල පහළට පෙරළී ගොස් තිබේ. පසුව ඉතිරි තිදෙනා ගලට යට වූ අය ඔසවාගෙන යළි පහළට පැමිණ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ගෙන්වාගෙන එයින් මේ පුද්ගලයා ගම්පොළ රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිට තිබේ.

මෙහිදී මරණ පරීක්ෂක නලින් මැදිවක මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් මියගිය අයගේ බිරිය වන හේවාරාලලාගේ වසන්ති කුමාරි මහත්මිය මෙලෙස සඳහන් කළාය.

“මගේ මහත්තයා සූපවේදියෙක්. උත්සව අවස්ථා සහ කිරි අම්මා දාන එයා භාර ගන්නවා. අට වෙනිදා යාළුවොත් එක්ක පාටියකට ගිහින් රෑ දහයට විතර මහත්යා ගෙදර ආවා. ගෙදර බාගෙට බඳිමින් තියෙන හින්දා මහත්තයා වෙනමයි දරුවොත් එක්ක මම වෙනමයි නිදා ගන්නේ. එහෙම නිදා ගත්ත මහත්තයා මටත් නොකියාම පාන්දර මේ ගමන ගිහින් තියෙනවා. මේ අනතුර ගැන මගේ අම්මට මහත්තයාගේ යාළුවෙක් කියලා තියෙනවා.”

ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සචින් රණතුංග මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් මොහුගේ පපුවට සහ උදරයට සිදු වූ හානිවලින් මිය ගොස් ඇතැයි සඳහන් කර තිබුණි.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කළේය.

මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ද එම ස්ථානයට පැමිණි අතර, ගම්පොළ ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන්වරුන් වන 20191 නිලන්ත, 71950 කපිල, පොලිස් කොස්තාපල් 77177 අනුරුද්ධ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූ අතර, පොලිස් සැරයන් කුලතිලක මෙහි සාක්ෂි මෙහෙය වීය.

ගම්පොළ -සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT