Home » හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත හිටපු අතිරේක ලේකම් සමන්ට ඇප
ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත හිටපු අතිරේක ලේකම් සමන්ට ඇප

by mahesh
August 9, 2024 1:00 am 0 comment

භාග්‍යා සිල්වා

– ලක්ෂය බැගින් මුදල් හා 50,000ක ශරීර ඇප
– විදේශ ගමන් බලපත්‍ර උසාවියට
– සෑම මසකම අවසාන ඉරුදින CIDයට වාර්තා කිරීමට නියෝග

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් කුසුම්සිරි රත්නායක යන මහත්වරුන් එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් 50,000ක ශරිර ඇප මත මුදාහැරිමට මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළ අතර සෑම මසකම අවසාන ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙහිදී මේ නඩුකරයේ දෙවන සැකකරු කපිල වික්‍රමනායක සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඔහු මුදාහරින ලෙස නිකුත් කර ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කර ඉදිරි දිනයේදී නියෝගයක් ලබාදීමටද මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය. එසේ එම මහෙස්ත්‍රාත්වරිය දෙවන සැකකරු මුදාහැරීම පිළිබඳව තීරණය කිරීමට හේතු වූයේ අභියාචනාධිකරණ නියෝගය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සහ දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ නෛතික කරුණු සැලකීමෙන් අනතුරුවයි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ මේ අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වන්නේ දෙවන සැකකරුට එරෙහිව බැලූ බැල්මට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහු මුදාහරින (Release) ලෙසයි. ඒ අනුව එම සැකකරු නැවත මේ නඩු කෘත්‍ය සඳහා නොකැඳවන ස්වභාවයේ මුදාහැරීමක් (Release) කිරීමට මහේස්ත්‍රාත්වරයාට හැකි බවයි.තවද ඔහුට එරෙහිව වෙනත් සාක්ෂි මතුවුවහොත් ඉදිරියේ නීතිමය කටයුතු කිරීම බාධාවක් නැති බැවින් ඔහු ඊයේ දිනයෙන් පසු මේ අධිකරණයට නොකැඳවන ස්වභාවයේ මුදාහැරීමක් (Released) කිරීමට බාධාවක් නැති බවයි.

මෙහිදි ප්‍රති තර්කයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සඳහන් කළේ අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගය අතුරු තහනම් නියෝගයක් ලෙස දී ඇති බවත් එහි අවසන් ඉල්ලීම ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ දෙවන සැකකරු නිදහස් (Discharge) කරන ලෙස බවත් එනම් මේ නඩු කෘත්‍යයෙන් නිදහස් (Discharge) කරන ලෙසයි. එසේ නම් මේ නියෝගයෙන් ඔහු මේ නඩු කෘත්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් (Discharge) වීමක් කිරීමට අභියාචනාධිකරණය අපේක්ෂා කර නැති බව පැහැදිලි වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

එහෙත් අභියාචනාධිකරණ නියෝගයේ අන්තර්ගතයේ ඔහුට එරෙහිව සක්ෂි ප්‍රමාණවත් නැති බැව් සඳහන්ව ඇති හෙයින් ඔහු එකී අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව මුදාහරින්නේ (Release) නම් ඔහු දැනට සැකකරුවෙක් ලෙස පවතින තත්ත්වය ඉවත්වීමක් සිදු වන්නේ ද එසේත් නැතිනම් ඔහු නැවත යම් ඉදිරි දිනයක අධිකරණ ඉදිරියට ගෙන්වා ගැනීමේ කොන්දේසි මත මුදාහැරිය හැකි ද, එසේත් නැතිනම් මේ අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව කරනු ලබන යම්කිසි මුදාහැරීමක් මේ සැකකරු නඩු කෘත්‍යයෙන් නිදහස් (Discharge) කිරීමක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද යන්න ගැටලුවක් පවතින බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ද යම්කිසි සැකකරුවකු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති විට ඔහු මුදාහැරීමක් (Release) සිදු කරන්නේ නම් එම සැකකරුගේ සැකකාරභාවය සහ නැවත අධිකරණයට ගෙන්වා ගැනීමේ කොන්දේසි පැනවීමේ හැකියාව හෝ ඔහු බැඳුම්කරයක් මත මේ නඩු කෘත්‍යයෙන් ඉවත් කිරීම යන කරණා අධ්‍යයනය කළ යුතු බවත් එසේ අධ්‍යයනය කර මේ සම්බන්ධයෙන් ඉදිරි දින නියෝගයක් කිරීමට තීරණය කළාය.

හයවැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සඳහන් කළේ තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ද ඇප ප්‍රදානය කරන ලෙසයි. දොළොස්වැනි සැකකාර විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේ මෙහි ඩබ්ලිව්.ඕ.ආර්. සහතික ව්‍යාජ බවට සියලු දෙනාම පිළිගන්නා කරුණක් බවත්, ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා අත් අකුරු පරීක්ෂාවකටද ලක්වූ බවත්ය. තම සේවාදායකයා මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති අතර නීත්‍යනුකූල නොකර හැරීමක් නිසා සිදු වූ වරදක් මිස චේතනාන්විතව වරදක් කර නැති බවත් ඒ හේතුවෙන් ඇප ප්‍රදානය කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

මෙහිදී සිද්ධියට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පෙර නඩුකරයේදී ප්‍රකාශ කළාය.

‘ස්වාමීනී, මේ සිද්ධියට අදාළව විමර්ශන වාර්තාව සමඟ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කර සිටිනවා.

මේ පළමුවෙනි සැකකරු ලබාදුන් ප්‍රශ්නගත ඖෂධ වර්ග දෙක ඖෂධ නියාමන අධිකාරියේ දුන් ලේඛනයේ ඡායාස්ථ සමඟ තමයි වෛද්‍ය සැපයුම් අංශය භාර ගත්තේ. ඉන්පසු ඒ ද්‍රව්‍ය ඖෂධ ලෙස රට පුරා රෝහල්වලට බෙදාහැරියා. පසුව ඒවා දුන් රෝගීන්ට ඇති වූ සංකූලතා වාර්තා වුණේ කොළඹ, මාතර වැනි රෝහල්වලින්. ඊට පසු තමයි මේ විමර්ශනය ආරම්භ වෙන්නේ.වෛද්‍ය සැපයුම් අංශ විසින් මේ ද්‍රාවණ දෙක භාර ගැනීමේදී ඔවුන් ඡායාස්ථ පිටපත් භාරගෙන තිබෙන්නේ.

මේ අපේ රටේ පවතින නීතිය අනුව ලියාපදිංචි නොවූ සැපැයුම්කරුවකු මෙරටට ආනයනය කරනවා නම් ඖෂධ නියාමන අධිකාරියේ 109 වගන්තිය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමයන්ට අනුව අදාළ සහතිකයක් තිබිය යුතු වෙනවා.එහිදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා අදාළ රාජ්‍ය ආයතනවලට අදාළ පෞද්ගලික සැපයුම්කරුවන්ට පිටපත් සහිතව මේ ලේඛන දිය යුතුයි. බැලූ බැල්මටම මේ ක්‍රියාදාමය තුළ යම් අපරාධයක් සැලසුම් කර ඇති ආකාරයක් පෙනෙනවා. ප්‍රසම්පදාන ක්‍රියාවලියේදී ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. සැපයුම්කරුවන් තෝරාගත් පසු ඊට අදාළ සැපයුම් ප්‍රසම්පාදන ශ්‍රිතය මඟින් ගැනුම් මැනුම් නිකුත් කළ යුතුයි. එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් වෛද්‍ය සැපයුම් අංශයත් ඒකාබද්ධ වෙලා ෆොටෝ පරිගණක පද්ධතියට ඇතුළත් කරනවා. මොනවා වුණත් ඩබ්ලිව්.ඕ.ආර්. සහතිකය අවශ්‍ය වෙනවා.

එහි සත්‍ය පිටපත අනිවාර්යෙන්ම අවශ්‍යයි. මේ ඩබ්ලිව්.ඕ.ආර්.සහතික නිකුත් කළේ කාටද කියා ඊමේල් පණිවිඩ මෙහි සැකකරුවන් වෙත යවනවා. සෑම මසකම හෝ මසකට දෙවතාවක් මේවා වෛද්‍ය සැපයුම් අංශයට යොමු කරලා ඩබ්ලිව්.ඕ.ආර්. කමිටුව එසේ යවන බවට ප්‍රකාශ සටහන් කරගත්තා. එහි පිටපත් ඖෂධ නියාමන අධිකාරිය අපරාධමය චේතනාවෙන් කළ දෙයක් මේක. මේ ඊමේල් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පවත්වනවා’

බාල ඖෂධ ගෙන්වූ බව කියන සුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන්, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවෝ මේ නඩුවේ සැකකරුවෝ වෙති.

මෙහි සිව්වැනි සැකකාර හිරාන් ධනජංය, පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන් යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මේ නඩුකරයේ සැකකරුවන් ලෙස නම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT