වසර 27කට පසු එක්දින තරගාවලියකදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ සමත් විය.එලෙස ඉතිහාසගත ජයක් වාර්තා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම නව නායකයකුට පැවරී තිබූ අතර, සනත් ජයසූරිය පුහුණුකරු ලෙස කටයුතු කළේය. අවසන් වරට (1997) එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කළ අවස්ථාවේ සනත් ජයසූරිය එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.
සනත් ජයසූරිය පුහුණුකරු ලෙස ක්‍රීඩකයන්ට උපරිම නිදහස ලබා දී ඇති බවත්, ඔහුට අවශ්‍ය තරග ජය ගැනීම බවත් පවසන නායක චරිත් අසලංක පුහුණුකරු එම උවමනාව ක්‍රීඩකයන් තුළ ද ඇති කළ බව කීය.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසු චරිත් අසලංක කියා සිටියේ මේ ආරම්භය පමණක් බවත්, තමා නායකයා ලෙස මේ සියලුදෙනා සමඟින් දුර ගමනක් යායුතු බවත්ය.
“සනත් ජයසූරිය ගැන වැඩිය කියන්න දෙයක් නෑ. එතුමා රට වෙනුවෙන් කරලා තියෙන දේ හැමෝම දන්වා. ඔහු කෝච් විදිහට අපිට නිදහස දුන්නා. එයාගේ පළපුරුද්ද අපිත් එක්ක නිතරම බෙදා ගන්නවා. එයාට ඇත්තටම ඕන තරග දිනන්න. ඔහු ක්‍රීඩකයන්ටත් ඒ වුවනමාව ඇති කළා. ඉතිka අපිටත් දැන් ඕන තරග දිනන්න. අලුත් නායකයෙක් විදිහට මමත් පුහුණුකරුත් ඒකට පරිසරය හැදුවා.මේක ආරම්භය විතරයි. හැබැයි අපිට තව දුර ගමනක් යන්න තියෙනවා. නායකයා විදිහට මට ඕන මේ සියලුදෙනා එක්ක දුර ගමනක් යන්න” අසලංක කියා සිටියේය.
මේ තරගාවලිය තුළින් ලද ධනාත්මක කරුණු පිළිබඳ අදහස් දක්වමින් ඔහු කීවේ “වසර 27කට පසුව ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි ලොකුම ධනාත්මක දේ. ඊට අමතරව දඟ පන්දුවෙන්, අපි වනිඳු හසරංග මත තමයි යැපුනේ. තවත් දඟ පන්දු යවන්නන් ලෙස මේ තරගාවලියේදී වැන්ඩර්සේ සහ දුනිත් හොඳින් ක්‍රීඩා කළා. ඒවා මට ලොකු ධනාත්මක දේවල්. මුල් පෙළ පිතිකරුවන් තරගාවලිය පුරාම හොඳින් පිතිකරණයේ යෙදුණා. මේ වගේ අමාරු තණතිලිවල ඒවගේ බැට් කරපු එක මට ලොකු ධනාත්මක කරුණක්” අසලංකගේ අදහස විය. අවසන් තරගයේ පිතිකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු “අවසන් තරගයේදී අපි ප්ලෑන් කළේ මුල් පෙළ කෙනෙක් ලොකු ලකුණු සංඛ්‍යාවක් ගන්න. එයා වටේ අනිත් අය ඉනිම ගොඩනඟලා ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න. අවිශ්ක ලකුණු 96ක් ලබා ගැනීමෙන් ඒක ඉතාමත් සාර්ථක වුණා. තරගාවලිය පුරාවටම මැද පෙළ සාර්ථක වුණේ නැහැ.” යැයි ඔහු කියා සිටියේය.
විස්සයි20 තරගාවලි පරාජයෙන් පසු මේ තරගාවලියට එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසලංක කියා සිටියේ “ටීම් එකක් විදිහට ක්‍රීඩකයක්ට ලොකු නිදහසක් දුන්නා. අපි ක්‍රීඩකයන්ගේ පොසිටිව් සහ නෙගටිව් දේවල් මොනවද කියලා බැලුවා. අපි විස්සයි20 පරාජය වුණා. ඒත් ඒකෙත් ගොඩක් හොඳ දේවල් තිබුණා. ඒත් ඒ තරගාවලිය අපි සාර්ථකව නිමා කළේ නැහැ. ඉතින් එක්දින තරගාවලියට එද්දි අපි ශක්තිමත් සැලසුම් සකස් කළා.”
“මට ඕන රට වෙනුවෙන් තරග දිනන්න විතරයි. අපි 3-0කින් පරාජය වෙලා ඊටත් වඩා ප්‍රබල කණ්ඩායමක් එක්දින තරගාවලියට ආවේ. ඉතින් ඒක ජයග්‍රහණය කරන්න ලැබීම සතුටක්.”
කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායකයා කියා සිටියේ මේ වන විට ක්‍රීඩකයන් වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති නිසා අත්දැකීම් වැඩිවීමෙන් ක්‍රීඩකයන්ගේ ලොකු වෙනක් සිදුවී ඇති බවය. මින් වසර කිහිපයකට පෙර තමා අංක 5 පිතිකකරු ලෙස මුල් ඕවර 10 තුළ පන්දුවට පහරදීමට පිටියට ගියත් මේ වන විට තත්ත්වය වෙනස්ව ඇති බවත්ය.
තමා මේ තරගාවලියේ පන්දු යැවීමට කටයුතු කළේ තණතිල්ලේ ස්වභාවය අනුව බව කී අසලංක පිතිකරණයෙන් සාර්ථක වීමට නොහැකි වුවද තමාගේ ප්‍රධාන කාර්යය පිතිකරණය බැවින් ඉදිරියේදී සාර්ථක වෙමින් තරග ජයගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
පුහුණුකරු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසලංක නායකයෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියේදී කණ්ඩායමේ පොඩි පොඩි වෙනස්කම් සකසා ගත යුතු බවත් පුහුණුකරු දේශීය වුවත් විදේශීය වුණත් හොඳ කළමනාකරණයක් ඇත්නම් එයා හොඳ පුහුණුකරුවකු වන බවත් එසේ වුවහොත් ඉදිරියට හොඳ ගමනක් යා හැකි බවත් කියා සිටියේය.