කැස්බෑව නිවුන්ගම ප්‍රදේශයේ වායු සමීකරණ අලුත්වැඩියා කරන පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 18 කට ආසන්න දේපොළ සොරා ගත් එහි කාර්මිකයෙකු ලෙස සේවය කරන සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි. ඔහු සොරාගෙන තිබූ තඹ බට සහ තඹ දඟර පොලිස් භාරයට ගෙන ඇත.
එම පෞද්ගලික සමාගමේ දේපොළ හිටි හැටියේ වරින්වර අස්ථානගතවීම සම්බන්ධයෙන් හිමිකරු විසින් තොග ගණන් ගැනීමෙන් අනතුරුව විශාල දේපොළ ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර සේවකයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුල මුල අනාවරණය වූ බව පොලිසිය පවසයි.
වසර ගණනාවක් එම සේවකයා එම සමාගමේ සේවය කර ඇති අතර සමාගමේ ඉදිරිපස දොරේ අමතර යතුරක් ඔහු සන්තකයේද තිබී ඇති අතර අනෙකුත් සේවකයන් සේවයට පැමිණීමට පෙර ඔහු සේවයට පැමිණ මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත.
සොරාගත් එම දේපොළ කොට්ටාව මහරගම ආදී ප්‍රදේශවලට විකුණා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිසිය පවසයි.
වාද්දුව ප්‍රදේශයේ පදිංචි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වයි.