වසර ගණනාවක් පුරා සිදු වන මිනිස් ජාවාරම් නතර කිරීම සඳහා ඒවා මෙහෙයවන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (08) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 75 වැනි සංවත්සරයට සමගාමීව සහ තැනැත්තන් වෙළෙඳාම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය පාදක කොටගෙන ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත අපරාධයක් වන තැනැත්තන් වෙළෙඳාමට හසු නොවෙමු යන්න පිළිබඳව පොදු මහජනතාව දැනුම්වත් කිරීමේ චිත්‍ර තරගාවලියේ ජය සංකේත ප්රදානය කිරීමේ අවස්ථාවේදීය. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය ද එක්වූවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අපි සියලු දෙනාම මිනිස් ජාවාරම ගැන හොඳින් දන්නවා. අපි කරන්නේ මිනිස් ජාවාරම පිළිබඳ ලැබෙන පැමිණිලි පසුපස හඹාගොස් එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමයි. නමුත් මගේ මතය නම් එය වෙනස් විය යුතුයි කියන එකයි.
මෙවැනි තරග පවත්වා අපි දූ දරුවන් දැනුම්වත් කරන්න හදන්නේ මේ මිනිස් ජාවාරම ගැන. අපි දූ දරුවන් පමණක් නෙවෙයි වැඩිහිටියන්වත් දැනුම්වත් කරන්න යම්කිසි වැඩපිළිවෙළක් යොදවන්න ඕනේ. මෙවැනි දේවල්වලට හසුවුණාම තමන්ගේ මුළු සේසතම නැති වෙනවා. මෙය අහිංසක දුප්පත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක්. අපි කළ යුත්තේ ඔවුන් මෙවැනි ගොදුරුවලින් වළක්වන එකයි. ඒකට මම Safe foundation , USAID සංවිධානවලින් සහ තානාපතිතුමියගෙන් ඉල්ලා සිටින්නේ අපි සියලු දෙනාම එකතු වෙලා මහජනතාව දැනුම්වත් කරමු කියලයි. පොලිසියත් මගේ යටතේ තියෙන නිසා ඒ සහායත් ගන්න පුළුවන්. ප්‍රජා පොලිස් කමිටුවලිනුත් මේ වැඩපිළිවෙළට සහාය ගන්න පුළුවන්.”
මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.