Home » කොටුගොඩ මාර්ග බාධකයේදී පොලිස් අවිය පත්තු වී බීමත් අයකු මරුට

කොටුගොඩ මාර්ග බාධකයේදී පොලිස් අවිය පත්තු වී බීමත් අයකු මරුට

සැරයන්ටත් තුවාල

by mahesh
August 9, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කොච්චිකඩේ - ඩී. මිහිඳුකුල

කොටුගොඩ මස් කඩේ හන්දිය ආසන්නයේ මාර්ග බාධකයකදී සීදූව පොලිසියේ නිලධාරීන් පිරිසක් පෙරේදා (07) මධ්‍යම රාත්‍රියේදී මෝටර් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී එම රථයේ සිටි බීමත් පුද්ගලයකු පොලිස් නිලධාරියකු සතුව තිබුණු ටී-56 අවිය උදුරා ගැනීමට තැත් කිරීමේදී එය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී එම පුද්ගලයා මියගොස් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨසය සඳහන් කරයි.

එම අවස්ථාවේදී මෝටර් රථයේ එම පුද්ගලයා ඇතුළු සිව්දෙනකු ගමන් කර ඇති අතර ඒ කිසිදු අයකු අපරාධයන්ට සම්බන්ධ අය නොවන බව විමර්ශනයේදී හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයා වාහන මිල දී ගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ අයකු බවත් මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඔහු සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස්ව කටයුතු කරන අයකු බවත් විමර්ශනයේදී අනාවරණය වූ බව ද එම නිලධාරියා කීය. මෙම අවස්ථාවේදීත් සිදුවී ඇත්තේ එවැනි දෙයක් මිස සැලසුම්සහගතව ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමක් නොවන බව ද විමර්ශනයේදී අනාවරණය වූ බවත් එම නිලධාරියා පැවසීය.

මෙසේ වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ පූගොඩ බංගලාවත්තේ පදිංචිකරුවකු වන ශානික දේශාන් නමැති 38 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු දෙදරු පියකු බව පොලිසිය සඳහන් කළේය. වෙඩි වැදී තුවාල සිදුව ඇත්තේ පුංචිබණ්ඩා නමැති සැරයන්වරයෙකි. මෙම නිලධාරියාගේ පාදයට වෙඩි වැදී ඇති බවත් මියගිය පුද්ගලයාගේ උදරයට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බවත් පොලිසිය කියයි.

මෝටර් රථයේ ගමන් කරමින් සිටි රියැදුරු ඇතුළු සෙසු තිදෙනා ද පූගොඩ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

මොවුන් සිව්දෙනා ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් පැමිණ ඒකල ප්‍රදේශයේ අවන්හලකින් මත්පැන් පානය කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මත්පැන් පානය කර ඇත්තේ වෙඩි වැදී මියගිය පුද්ගලයාත් තවත් අයෙකුත් බවත් බෝතල් එකහමාරක් ඔවුන් මත්පැන් පානය කර ඇති බවත් ඔහු සමඟ මෝටර් රථයේ ගමන් කළ තිදෙනා පොලිසියට පවසා ඇත.

මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තැනැත්තා මත්පැන් පානය කර නැති බව පොලිසිය කියයි. අවන්හලින් මැදියමට ආසන්න කාලයේදී පිටතට පැමිණ මෝටර් රථයේ රියැදුරු අසුනට යාබද අසුනට ගොඩවී ඇත්තේ මියගිය පුද්ගලයා බව පොලිසිය කියයි. ඒකල සිට ඔවුන් ගම්පහ හරහා පූගොඩ දක්වා ගමන් කිරීමට සූදානම්ව සිටියත් ඒකල මඩම හන්දියේ ඔරලෝසු කණුව අසලින් ගම්පහ ජා-ඇළ මාර්ගයට මෝටර් රථය හරවා ගමන් කරනවා වෙනුවට මඟ වැරදීමෙන් වෙනත් මාර්ගයක් ඔස්සේ මෝටර් රථය ධාවනය කර ඇති බව ද මෝටර් රථයේ සිටි අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සහ විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මඟ වැරදී දඬුගම පාලම වෙත පැමිණි ඔවුන් මඟ නිවැරදි කර ගැනීමට සීදූව හන්දියට පැමිණ ගම්පහ වෙත ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම වී තිබෙන බව පොලිසිය කියයි.

මෝටර් රථය නවතා ඇත්තේ සාමාන්‍ය සෝදිසියකට බවත් එහිදී රියැදුරුගේ රියැදුරු බලපත්‍ර ඇතුළු එහි ගමන් කරමින් සිටි අයගේ අනන්‍යතාව පරීක්ෂා කර බැලූ පොලිසිය වාහනය පරීක්ෂා කිරීමට අදාළ සටහන් පොලිස් පොතේ තැබීම සඳහා සූදානම් වන විට මෙම සිදුවීම වී ඇති බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා සිතා ඇත්තේ පොලිසිය විසින් දඩ පත්‍රිකාවක් ලබාදීමට සූදානම් වන බව යැයි පෙනී යන බවත් ඔහු කෑගසාගෙන වාහනයෙන් බැස කලහකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු වන ප්‍රියංජන නමැති නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇත්තේ වැරදි වැටහීමකින් බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම පුද්ගලයාගේ උදරයටත් අසල සිටි පොලිස් සැරයන්වරයකුගේ පාදයකටත් වෙඩි වැදී ඇත්තේ එහිදී බව පොලිසිය කියයි. මෙහිදී පොලිස් නිලධාරීන් හා මෙම පුද්ගලයා අතර බහින්බස් වීමක් සිදුවූ බවට තොරතුරු ද කියැවේ.

වෙඩි වැදුණු මෙම පුද්ගලයාත් පොලිස් සැරයන්වරයාත් මීගමුව රෝහලට එම මොහොතේම රැගෙන යෑමට පොලිසිය පියවර ගෙන ඇත. මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමේදී බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT