ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු මෙසේ අමානුෂිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකියි
– ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ
කිසිදු සාධාරණ හේතුවකින් තොරව 2021 වසරේදී ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන, නිරුවත් කර ලිංගික හිරිහැරයට ලක් කර අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකුට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (8) නීතිපතිට නියෝග කළේය.
එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජාතික පොලිස් කොමිසමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට එරෙහි විමර්ශන සිය පෞද්ගලික විශේෂ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙස බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කළේය. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසද මේ විත්තිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවමත් සේවයේ නිරතව සිටින නිලධාරියකු බව අවධානයට ගනිමින් කිසිදු බාධාවක් හෝ බලපෑමකින් තොරව අදාළ විමර්ශන කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසද නියම කෙරිණි. ඒ විමර්ශනයේදී වගඋත්තරකරුවන් විසින් අපරාධ වැරදි කර ඇති බව සහ ඒ බව තහවුරු කරන ලේඛන තිබේ නම් ඒ සම්බන්ධයෙන් වන සවිස්තර තොරතුරු වාර්තාවක් නීතිපති වෙත වහා ඉදිරිපත් කරන ලෙසද නියම කෙරිණි.
සාධාරණ හේතුවකින් තොරව අත්අඩංගුවට ගත් තමා නිරුවත් කොට, ලිංගික හිරිහැරයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව රාජගිරිය පදිංචි ව්‍යාපාරිකයකු වන මිෂාර රණසිංහ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මේ නියෝග කරන ලදි.
අදාළ සිද්ධිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12(1), 13(1), 13(2), 14(1)(ඌ) යන විධිවිධානවලින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ පොලිස් නිලධාරීන් පස්දෙනා විසින් උල්ලංඝනය කර තිබිය හැකිය යන පදනම මත මේ පෙත්සම් එම නිලධාරීන්ට එරෙහිව විභාගයට ගැනීමට නියම කරන ලදි.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මේ නියෝගයන් සිදු කරන ලදි.
මේ පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වයන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තර කාරණය නිලධාරීන්ට එරෙහිව පවත්වන විමර්ශන නිසි පරිදි සහ කඩිනමින් සිදු නොවන බව පෙනී යන බව විනිසුරු මඬුල්ල තීරණය කළේය.
“මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් අටදෙනාගෙන් අයකු වන රන්මල් කොඩිතුවක්කු මහතා මෙලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට නොගැළපෙන අයුරින් අමානුෂික ලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකියැ“යි එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අලුතින් විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙස ජාතික පොලිස් කොමිසමට නියම කරන බවද විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.
අදාළ පහර දීමට ලක් වූ අවස්ථාවේදී පෙත්සම්කරුට ප්‍රතිකාර කළ වෛද්‍ය සටහන් සහ ඔහුගේ රෝග නිශ්චය වාර්තා කවරේද යන්න පිළිබඳව සම්පූර්ණ වාර්තා දෙන ලෙස කිරිඇල්ල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය එම්.ඩී.ටී.ගුණරත්න මහතාට නියම කරන ලදි. එසේම පෙත්සම්කරුට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 10 දා දිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවට අදාළ සම්පූර්ණ වාර්තාවක් වෛද්‍ය චන්න පෙරේරා මහතාගෙන් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටර්වරයාට නියම කෙරිණි. පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු 4 දා පැවැත්වීමට නියම වූ අතර, පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා සති 8ක් තුළදී ගොනු කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළ අතර ප්‍රතිවිරෝධතා ඉන් අනතුරුව සති හතරකදී ගොනු කරන ලෙස නියම කෙරිණි.
රාජගිරියේ පදිංචි මිෂාර රණසිංහ මහතා විසින් ගොනු කළ මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් නිලධාරී ආර්.ඒ.ජේ. බණ්ඩාර, වැඩ බලන පොලිස් නිලධාරි ආර්.ඒ.ජේ.බණ්ඩාර, වැඩ බලන ස්ථානාධිපති දිසානායක ඇතුළු 9 දෙනෙක් නම් කරනු ලැබ සිටිති. ව්‍යාපාරිකයකු වන පෙත්සම්කරු එක්දරු පියෙකි. 2021වසරේ ඔක්තෝබර් 30 දින පෙත්සම්කරු නිවිතිගල ප්‍රදේශයට ගොස් සිය නිවෙසේ මෙහකාරිය රැගෙන එමින් සිටියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්තු මහතා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු සිටි ජීප් රථයක් පැමිණ පෙත්සම්කරුගේ මෝටර් රථය ඉදිරියේ නවතා බාධා කළ බවට සඳහන් විය. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්තු මහතා පැමිණ පෙත්සම්කරුගේ වාහනයේ දොර අරින ලෙස නියෝග කළේය. ඉන් පසුව පෙත්සම්කරුට පහර දුන් බවද සඳහන් කෙරිණි. මේ සිද්ධිය සැකකරු ජංගම දුරකතනයෙන් පටිගත කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියකු එය බලහත්කාරයෙන් පැහැරගත් අතර, තමාගේ පියා නීතිඥයකු බව පැවසූ අවස්ථාවේ තමාව ඔහුගේ ග්‍රහණයෙන් මුදාහැර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ. පසුව කිරිඇල්ල පොලිස්ථානයට රැගෙන ගොස් පෙත්සම්කරු සතු සියලු භාණ්ඩ පොලිස් භාරයට ගනු ලැබීය. එහිදී පළමු වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් මත පෙත්සම්කරු නිරුවත් කළ එහි සිටි පොලිස් නිලධාරීහු පෙත්සම්කරුට පහර දුන්හ. ඊට පසුව පෙත්සම්කරුට ලිංගික හිරිහැර කොට එදිනම රාත්‍රියේ මුදාහළ බව පෙත්සමෙහි සඳහන් වේ. අනතුරුව පෙත්සම්කරු නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී ඇත.
මේ සිද්ධිය නිසා ෙතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට දඬුවම් කිරීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ඩිලාන් නාලක මහත්වරුන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාද නීතිපති හා පොලිස්පති වෙනුවෙන් රජයේ නීතිඥ ශිරංගා ප්‍රනාන්දු මහත්මියද පෙනී සිටියහ.