Saturday, April 19, 2025
Home » රාවණාඇල්ලේ මහමඟ වැටී තිබූ පෝලන්ත යුවළගේ මුදල් පසුම්බිය ඇල්ල පොලිසියට

රාවණාඇල්ලේ මහමඟ වැටී තිබූ පෝලන්ත යුවළගේ මුදල් පසුම්බිය ඇල්ල පොලිසියට

සත්රියාව සිදු කළ වැල්ලවාය පී.ජී. වජිරානන්දට 5000ක මූල්‍ය ප්‍රදානයක්

by mahesh
August 9, 2024 1:00 am 0 comment

සොරණාතොට සමූහ - සී. ගමගේ
පෝලන්ත ජාතික විදේශික සංචාරක යුවළගේ නැති වූ මුදල් පසුම්බිය ඇල්ල පොලිසියේ සංචාරක ඒකකයේ පොලිස් කොස්තාපල් (78709) ප්‍රනාන්දු මහතා විසින් එම සංචාරක යුවළට භාර දෙමින් සහ මෙම සද්ක්‍රියාව සිදු කළ වැල්ලවාය පී.ජී. වජිරානන්ද මහතාට මුදල් ත්‍යාගය ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධන මහතා පිරිනමමින්.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි පෝලන්ත ජාතික විදේශික සංචාරක යුවළකගේ මුදල් රුපියල් 52,000ක්, රියැදුරු බලපත්‍රය, බැංකු කාඩ් පත්, විදේශ මුදල් සහිත මුදල් පසුම්බියක් රාවණාඇල්ල ප්‍රදේශයේ මහමඟ වැටී තිබියදී අහුලාගත් පුද්ගලයකු ඊයේ (08) ඇල්ල පොලිසියේ සංචාරක ඒකකයට ගෙනවිත් භාර දුන් බව ඇල්ල පොලිසිය පවසයි.

මෙම ආදර්ශවත් සත්්‍රියාව සිදු කරනු ලැබූයේ වැල්ලවාය කොස්ලන්ද පාරේ පදිංචි දර සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරන පී.ජී. වජිරානන්ද නමැති අය බවද පොලිසිය පවසයි.

මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇති මෙම පෝලන්ත ජාතික විදේශික සංචාරක යුවළ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිණ ඇල්ලේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති අතර, පසුව මෙම යුවළ ත්‍රිරෝද රථයක නැඟ කොස්ලන්ද දියලුම දියඇල්ල නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එසේ යමින් සිටියදී මොවුන්ගේ මුදල් පසුම්බිය ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මහමඟ වැටි ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මේ අතර දෙමෝදර තේ කර්මාන්ත ශාලාවට දර සපයන වැල්ලවාය කොස්ලන්ද පාරේ පදිංචි පී.ජී. වජිරානන්ද නමැති අය ද ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී රාවණාඇල්ල ප්‍රදේශයේ මහමඟ වැටී තිබූ මුදල් පසුම්බියක් දැක අහුලාගෙන එය ඇල්ල පොලිසියේ සංචාරක ඒකකයට ගෙනවිත් භාර දුන් බව ඇල්ල පොලිසිය පවසයි. පසුව ඇල්ල පොලිසිය විදේශීය සංචාරක යුවළට දැනුම් දී පොලිසියට කැඳවා එම මුදල් පසුම්බිය බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සද්ක්‍රියාව සම්බන්ධයෙන් සතුටට පත් වූ පෝලන්ත ජාතික විදේශික සංචාරක යුවළ එම මුදල් පසුම්බිය අහුලාගත් පී.ජී. වජිරානන්ද මහතාට රුපියල් 5000ක මුදල් ත්‍යාගය ලෙස ලබා දෙමින් ඔවුන් මෙම සද්ක්‍රියාව අගය කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT