Home » ත්‍රිරෝද රථයක් පසුපසට වැඩිම දුරක් ධාවනය කර නිශාන්ත බණ්ඩාරගෙන් ලෝක වාර්තාවක්

ත්‍රිරෝද රථයක් පසුපසට වැඩිම දුරක් ධාවනය කර නිශාන්ත බණ්ඩාරගෙන් ලෝක වාර්තාවක්

“කිලෝමීටර් 88ක් පැය තුනයි විනාඩි 48 තප්පර 47කින් නිම කරයි

by mahesh
August 9, 2024 1:00 am 0 comment

ගුවන් හමුදාවේ නායක ගුවන් භටයකු ලෙස සේවය කළ මුන්දලම මුක්කුතොඩුවාවේ අයි.එම්.එල්. නිශාන්ත බණ්ඩාර මහතා ත්‍රිරෝද රථයක් වැඩිම දුරක් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඊයේ (08) සමත් විය.

සෙරන්ඩිෆ් ලෝක වාර්තා ආයතනයේ ප්‍රධාන විනිසුරුවරයකු ඉදිරියේ මෙම ලෝක වාර්තාව තැබීමට නිශාන්ත බණ්ඩාර මහතා කටයුතු කර තිබුණේ මෙතෙක් ලෝකයේ කිසිම රටකින් එම වාර්තාවක් නොතිබූ පසුබිමක බව කියයි.

ලෝක වාර්තාව තැබීමට පෙර එය ආරම්භ කිරීම සඳහා මුක්කුතොඩුවාව මංසන්ධියේ පැවති උත්සවයට පැමිණි මහා සංඝරත්නය, කතෝලික පියතුමන්ලා හා මවුලවිවරුන් පැමිණ ආශීර්වාද කරමින් නිශාන්ත බණ්ඩාරට සුබ පතන්නට විය. ඒ සමඟ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත මුන්දලම, මදුරන්කුලිය, නොරෝච්චෝල හා කල්පිටිය යන පොලිස් ස්ථානවල රථවාහන නිලධාරීන් නිශාන්තගේ කටයුතු සාර්ථක කර ගැනීමට මාර්ග නිසි ලෙස ආරක්ෂාකාරී ලෙස සකසමින් කිසිදු බාධාවකින් තොරව එම කටයුත්ත සඳහා මහත් වෙහෙසක් ගන්නා අයුරු ප්‍රශංසනීය විය.

මුන්දලම මුක්කුතොඩුවාව ගම්මානයේ සිට මදුරන්කුලියට පැමිණ ඉන් පසුව පාලවිය මංසන්ධියෙන් කල්පිටිය මාර්ගයේ පාලකුඩා මංසන්ධියෙන් හැරී තලවිල දේවස්ථානයට ගොස් ඉන් පසුව නැවත ගමන් ගත් මාර්ගයෙන්ම මුක්කුතොඩුවාවට පැමිණීමට සමත් වූයේ කිසිවකුටත් නැවත ඔහුගේ වාර්තාව අභියෝගයකට ලක් කිරීමට ඉඩ නොතබමිනි.

අදාළ ගමන් මාර්ගයේ කිලෝමීටර් 88ක දුර පැය තුනයි, විනාඩි 48යි තත්පර 47කින් ත්‍රිරෝද රථය පසුපසට ධාවනය කරමින් මෙලෙස වාර්තා පොත් අතරට යාමට නිශාන්ත බණ්ඩාර කටයුතු කර තිබුණි.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය උසුලන ලාල් රත්නායක මහතාගේ ප්‍රධානත්වය උසුලන සේරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ ප්‍රධාන විනිසුරුවරයකු වන හා සංවිධායක සනත් ගමගේ මහතාව නිශාන්ත බණ්ඩාර මහතාව නිසි ලෙස අධීක්ෂණය කරමින් ඔහුගේ කාලය හා ත්‍රිරෝද රථය සුපුරුදු අයුරින් පසුපසට ප්‍රශස්ත ලෙස ධාවනය කළ බවට ලෝක වාර්තාව ලබාදීම සිදු විණි.

නිශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නාවික ගුවන් භටයකු (023542) ලෙස සේවය කර ඇති අතර ඔහු සුළු කාලයක් එලෙස සේවය කිරීමෙන් පසු සේවයෙන් ඉවත්ව තිබේ.

මෙලෙස ලෝක වාර්තාව තැබීමට ප්‍රථම ඒ සඳහා පෙරහුරු තරගයක් පසුගිය පෙබරවාරි මාසයේ සංවිධානය කර තිබුණි.

එම තරගය සාර්ථකව නිම කිරීමෙන් පසු ලෝක වාර්තාව තැබීම මෙලෙස සංවිධානය කර තිබුණි.

ලෝක වාර්තාව තැබීමෙන් පසු සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනය නිශාන්තගේ ජයග්‍රහණයට අදාළ සහතික හා අනිකුත් තිළිණ ප්‍රධාන විනිසුරු සනත් ගමගේ මහතා අතින් ලබා දීම සිදුවිණි.

දරුවන් පස් දෙනෙකුගේ පියකු වන නිශාන්ත බණ්ඩාර මහතා ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කරයි. ඔහු කා අතරත් හිත දිනා ගත් නිහතමානී අයෙකි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT