චෝදනාව මිතුරා හෙල්මට් පැළඳ නොසිටීම
පයාගල පොලිසියේ රථවාහන අංශ නිලධාරින් අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙකි. රෝහල්ගත කර ඇති සිසුවා මිතුරකු සමඟ පෙරේදා (07) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසලකට ගොස් ඇති අතර, මිතුරා හෙල්මට් පැලඳ සිට නැති බව පොලිසිය කියයි. ඒ බව දුටු පයාගල පොලිසියේ රථවාහන අංශ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ විත් යතුරුපැදිය නවත්වා බැණ වදිමින් යතුරුපැදිය අසලට පැමිණ තිබේ. ඒ මොහොත වන විටත් එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇති අතර, බියට පත් පාසල් සිසුවා යතුරුපැදිය පණ ගන්වා අසල පිහිටි ඥාති නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන් වේ.
ඔවුන් ලුහුබැඳි පොලිස් නිලධාරින් පසු පැදිකරුට කනේ පහරක් එල්ල කර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද කනේ පහර කිහිපයක් එල්ල කර ඇති අතර, ඒ මොහොතේ ඔහු බිම ඇදවැටී ඇති බව රෝහල්ගත කර සිටින සිසුවා පවසයි. බිම ඇදවැටුණු පසුව පා පහරක් එල්ල කර බූට් සපත්තුවෙන් තුනටිය ප්‍රදේශය පාගා ඇති බවද සිසුවා වැඩිදුරටත් පැවසීය.
පහර කෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව්.ඒ. අසංක යන අය කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් තමාගේ පුතාට මෙන් තවත් දරුවකුට මෙවන් අමානුෂික ලෙස පහර දීම් නොකිරීමට කටයුතු කරන ලෙස බලධාරින්ගෙන් ඔහු ඉල්ලා සිටී.