ධාතු වන්දනාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විට එතැනට නිරායාසයෙන් ම ශ්‍රී සර්වඥ ධාතු සම්බන්ධ වීම නොවැළැක්විය හැකිය. ධාතු වන්දනාව යනුවෙන් වින්සන්ට් ඒ. ස්මිත් මහතා අදහස් කර ඇත්තේ බුදුදහමේ සහ පොදු පූජාවල විශේෂ අරමුණු උපයෝගී කර ගැනීමට යොදා ගත් ගෘහ නිර්මාණ කලාවේ අත්තිවාරම ලෙසයි. සිදුහත් බෝසතාණන් ගිහි ගෙය හැර දමා යද්දී අනෝමා ගං තීරයේ සිට පැවිදි වෙස් ගැනීමට තම කෙස් වැටිය කඩුවෙන් කපා අහසට දැමූ විට (උඩට යොමු කළ විට) සක් දෙවියන් එම කේශධාතු රන් කරඬුවකින් පිළිගෙන තව්තිසා දෙව්ලොවෙහි සිළුමිණි සෑය නමින් දාගැබක් තැනූ බවට ජනප්‍රවාදයේ එයි.
බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු බවට පත් වී සති හතක් ගෙවා කිරිපලු රුකක් මුල වැඩ සිටි විට අත්සුණු සහ මී පිඬු පිළිගැන්වූ තපස්සු සහ භල්ලුක නම් වූ වෙළඳ සොහොයුරන් දෙදෙනා උන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත් වී ඇත. පළමුවෙන්ම බුදුන්, දහම්, සරණ ගිය හෙවත් ද්වේවාචික උපාසකයන් වූ ඒ දෙදෙනා තමන්ට පූජා කිරීමට යමක් දෙන ලෙස බුදුහිමිගෙන් ඉල්ලා සිටි විට බුදුන් වහන්සේ දකුණු අතින් හිස පිරිමැද කේශධාතු අට මිටක් ලබා දුන් බව ජාතකට්ඨ කථාවේ සඳහන් වී ඇත. ඒ දෙදෙනා එම කේශධාතු තැන්පත් කොට අසිතංජන නගරයේ දාගැබක් කරවූ බවක් ජනප්‍රවාදයේ තිබේ. එසේ ම සංචාරක වෙළෙන්දන් වූ ඒ දෙදෙනා වෙළඳාම් කටයුතු සඳහා ගිය ජනපදවල එම ධාතු ස්වල්පය බැගින් තැන්පත් කොට දාගැබ් තැනූ බවට ද කතාවක් තිබේ. ලංකාවේ නැඟෙනහිර වෙරළ ආසන්නයේ ඇති තිරියාය පෙදෙසේ පිහිටුවා තිබෙන ගිරිහඬු සෑය එම වෙළඳ සොහොයුරන් විසින්ම කේශධාතු තැන්පත් කොට ඉදි කරන ලද්දක් බව පූජාවලියේ දැක්වේ. බුරුම ජාතිකයන් වූ තපස්සු හා භල්ලුක දෙදෙනා ඔවුන් සමීපයේ තිබුණු කේශධාතු බුරුමයේ රැන්ගුන් නුවර පිහිටුවා ඇති ස්වේදගෝන් දාගැබ ප්‍රධාන කොට ඇති ස්ථාන කිහිපයකම තැන්පත් කොට දාගැබ් තනවා ගරු බුහුමන් කළ බව දැක්වේ. මිහිඳු හිමියන් ලංකාවට බුදුදහම හඳුන්වා දීමට පෙර ලංකාවේ ධාතු වන්දනාව පැවති බවට තොරතුරක් ඇත. බුදුහිමියන් බුදු වී නවවන දුරුතු මස යක්‍ෂ දමනය සඳහා ලංකාවට වැඩම කළ අවස්ථාවේ වර්තමාන මියුගුණ දාගැබ පිහිටි ස්ථානයේ වැඩ හිඳ එතැනට රැස්වූ දෙවියන්ට දම් දෙසූ පසු සමනොළ කන්දෙහි වාසය කළ සුමන දෙවියන් සෝවාන් ඵලයට පැමිණ ඇති අතර පූජා කිරීමට යමක් බුදුහිමිගෙන් ඉල්ලා සිටි විට බුදුහිමියන් තම හිස පිරිමැද කේශධාතු මිටක් ලබා දුන් බව මහාවංසයේ දැක්වේ. එම කේශධාතු හා සරභූ හිමියන් රැගෙන ආ ග්‍රීවා ධාතුව ද තැන්පත් කොට වර්තමාන මහියංගණ දාගැබ පිහිටුවා ඇති තැන රියන් සතක් උසට ඉඳුනිල්මිණියෙන් චෛත්‍යයක් කරවූ බව ද මහාවංසයේම දැක්වෙයි. නමුත් ධාතුවංසයේ සඳහන් වී ඇත්තේ බුදුන් වහන්සේගේ එක් කේශධාතුවක් මත සුමන සමන් දෙවියන් විසින් සමනොළ කන්දෙහි දාගැබක් ඉදි කළ බවයි.
ලංකාවට කේශධාතු වැඩම කරවා ඒ හා සම්බන්ධයෙන් පැවැත්වූ පුදපූජා පිළිබඳව දැනට සොයා ගැනීමට නැති කේශධාතුවංසය නම් කෘතියකින් උපුටා ගත් තොරතුරු චූලවංසයේ තිබේ. මුගලන් රජු කල (ක්‍රි.ව. 447-495) සිලාකාල යන අය විසින් දඹදිවින් එම ධාතු වැඩම කරවූ බව එහි දැක්වේ. මහායාන අදහස් මෙකල ජනප්‍රිය වීම නිසා ධාතු වන්දනාවට සුවිශේෂ ස්ථානයක් හිමි වන්නට ඇත. මුගලන් රජු එම කේශධාතු පළිඟු කරඬුවක තැන්පත් කර එය ප්‍රතිමා ගෘහයක වඩා හිඳුවා ඒ වෙනුවෙන් මහාධාතු පූජෝත්සව පවත්වා තිබේ. බුදුහිමියන් පිරිනිවන් පෑ පසු දැවුණු බුදු සිරුරේ ධාතු ඉතිරි වී ඇත්තේ සමන් කැකුළු හා සුදු මුතු ලෙසින් බව මහාපරිනිර්වාණ සූත්‍රයේ දැක්වේ. දළදා සතරත් අකුධාතු දෙකත් උණ්හීසයත් යන ධාතූන් වහන්සේලා විසිරි නොගොස් තැන්පත්ව තිබී ඇති අතර අනෙක් ධාතු විසිරී ගොස් ඇත. ඒ අතර කුඩා ධාතුවල ප්‍රමාණය අබ ඇට තරම් වී ඇත. ධාතු තැන්පත් කොට ස්තූප තනා වන්දනාමාන කළ යුතු පුද්ගලයන් සිව්දෙනෙකු ගැන බුදුහිමියන් මහාපරිනිර්වාණ සූත්‍රයේ දක්වා තිබේ.
1. අර්හත් සම්‍යක් සම්බුදුන් වහන්සේ
2. පසේ බුදුන් වහන්සේ
3. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ
4. සක්විති රජු, යනු ඒ සිව් පුද්ගලයෝයි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුසිනාරා නුවර මල්ල රජ දරුවන් සන්ථාගාරයේ මැදිරියක් ඉදි කොට එහි සර්වඥ ධාතු තැන්පත් කොට සතියක් පුරා ගරු බුහුමන් පුද සත්කාර පවත්වා තිබේ. ඉන් පසු රටවල් අටක රජවරුන් විසින් පුද පූජා පැවැත්වීමට සර්වඥධාතුවල කොටස් ඉල්ලා මල්ල රජදරුවන්ට දූතයන් යැව්වත් ඔවුන් ඊට එකඟ වී නැත. නමුත් ද්‍රෝණ බමුණාගේ මැදිහත් වීමෙන් සර්වඥධාතු කොටස් අටකට බෙදා දී තිබේ. ඉන් පසු සර්වඥධාතු තැන්පත් කොට ස්තූප තනා උත්සව ද පවත්වා තිබේ. බුදු සිරුරේ ධාතු නැළි 8 ක් තිබී ඇත. ඉන් නැළි 7ක ධාතු දඹදිව පූජාවට පාත්‍ර වී ඇත. මෙලෙස බුදුහිමිගේ ශාරීරික ධාතූන් තුන් ලොවේ ම පූජාවට ලක් වී ඇත. ධාතු වන්දනාවේ සමාරම්භක අවස්ථාව මෙය බව කිව හැකිය.
දළදා වහන්සේ වන්දනාව
ශ්‍රී සර්වඥ ධාතු අතුරින් වැඩි වශයෙන් වන්දනාවට හා පූජාවට ලක්වූයේ දන්ත ධාතුන් වහන්සේය. සුදු පැහැති උල් දත් හතරක් ගැන මහාපරිනිබ්බාන සූත්‍රයේ ධාතු විභජන කතාවේ සඳහන් වී ඇත. එක් දළදාවක් දෙව් ලොව ද තවෙකක් ගන්ධාර පුරයේ ද තවත් එකක් කාලිංග රටේ ද අනෙක නා ලොවේ ද පූජා ලබන බව එම කතාවේ සඳහන් කර ඇත. ලංකාවේ දළදා වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස පූජා ලබති. දළදා වහන්සේ උදෙසා දෛනික පූජා, සප්තාභික හෙවත් සතියකට වරක් කෙරෙන පූජා සහ වාර්ෂික පූජා යනුවෙන් පූජා කොටස් තුනකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගේ පහස ලද ශාරීරික ධාතුන් වහන්සේලා අතුරින් ශත වර්ෂ ගණනාවක් තිස්සේ බොදු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී දළදා සමිඳුන් බෞද්ධත්වයේ පමණක් නොව රාජ්‍යත්වයේ ද සංකේතයක් වෙයි. රජු වසන නිවහන රාජ මාලිගාව වූවා සේ දළදා වහන්සේ වැඩ වසන නිවහන දළදා මාලිගය විය. අප රටේ බුදු සිරුරේ විවිධ ධාතු වන්දනා කිරීම රජ දවස සිට ව්‍යාප්ත විය. රුවන්වැලි සෑයේ විශාල ප්‍රමාණයේ ධාතු තැන්පත් කර ඇත. අභය රජු දවස සර්වඥ ධාතු උදෙසා මල් පහන් සුවඳ දුම් ආදියෙන් සතියක් පුරා පූජා පවත්වා තිබේ. නූතනයේ සෑම විහාරස්ථානයකම ශ්‍රී සර්වඥ ධාතු තැන්පත් කොට ඇති රන් ආලේපිත කරඬු සහිත දළදා මන්දිර ඉදි කොට බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දී ඇත. මූලික වශයෙන් ධාතු වන්දනාවෙන් බැතිමතුන් තුළ ශ්‍රද්ධාව සහ බුද්ධ භක්තිය ජනනය කිරීම අපේක්‍ෂා කරයි.
ධාතු වන්දනාව යනු පින් රැසක් ලබාගත හැකි පුණ්‍ය ක්‍රියාවකි. ධාතු වන්දනාවේ ආනිශංස දැක්වෙන කතා රැසක් විමාන වස්තුවේ තිබේ. අනේක වර්ණ විමාන වස්තුව, වීන විමාන වස්තුව, මල්ලිකා විමාන වස්තුව ආදියෙහි ධාතු වන්දනාවෙන් මහත් ඵල මහානිශංස ලැබූ චරිත ගැන විස්තර ඇතුළත් වෙයි.
දිනක් දේව චාරිකාවේ වැඩි මුගලන් මහරහතන් වහන්සේ දුටු අනේකවණ්ණ නමැති දිව්‍ය පුත්‍රයා උන්වහන්සේට වන්දනාමාන කොට එකත් පස්ව සිට ඇත. එවිට මුගලන් මහරහතන් වහන්සේ එම දිව්‍ය පුත්‍රයාගෙන් මෙතරම් ලස්සන අලංකාර දීප්තිමත් ශරීරයක් ලැබීමට ඔබ කළ කුසල් කවරේදැයි විමසා තිබේ. එවිට එම දිව්‍ය පුත්‍රයා පවසා ඇත්තේ “ස්වාමීනි, මම සුමේධ නම් බුදු හිමියන්ගේ ශාසනයේ පැවිදි වී අවුරුදු 7ක් බ්‍රහ්මචර්ය ආරක්‍ෂා කොට උතුම් දහම් මඟෙහි ගොස් මාර්ග ඵලයක් උපදවාගත හැකි වේ යැයි සිතා ධර්මයෙහි යෙදී ක්‍රියා කළත් කිසිදු මාර්ග ඵලයකට පත් විය නොහැකි වූ නිසා කලකිරී සිවුරු හැර උපාසකයකු ලෙස සර්වඥ ධාතු චෛත්‍යයට මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කරමින් අන් අයටත් ධාතු වන්දනා කිරීමට උපදෙස් දෙමින් ඔවුන් සුචරිතයෙහි යොදවා බොහෝ කුසල් රැස් කර ගනිමින් මෙලෙස ගෞතම බුද්ධ ශාසන කාලයේ අනේකවණ්ණ දිව්‍ය පුත්‍ර ලෙස සියලු දෙවියන් මැද දීප්තිමත්ව බබළන සිරුරින් යුතුව දෙවියන්ගේ වන්දනාවට පාත්‍ර වීමට තරම් පින් ඇත්තෙකු වූ බව කියා ඇත. ඒ තත්ත්වය උදා වූයේ ධාතු වන්දනාවේ ආනිශංසයක් ලෙසිනි.
අජාසත් රජතුමා ධාතු පූජා පවත්වන අවදියේ මවක් තම දුව සමඟ ධාතු වන්දනා කිරීමට නිරතුරුවම යාම නිසා කෝපයට පත්ව ඒ දුවගේ පියා නැති නම් ඇගේ මවගේ සැමියා ඇට කැබැලිවලට වන්දනාමාන කිරීමෙන් සිදු වන පින කුමක් දැයි බැණ වදිමින් ධාතුන් වහන්සේලා ගැන නුගුණ කියා තිබේ. කල් ඇවෑමෙන් ඔහුගේ බිරිය හා දුව රෝගයකින් පෙළී මිය ගොස් දිව්‍ය ලෝකයේ ඉපදී ඇත. ධාතුවලට නින්දා කරමින් ධාතු වන්දනා කළ බිරියට හා දුවට බැණ වදිමින් ක්‍රෝධයෙන් පෙළෙමින් සිටි සැමියා මිය ගොස් ප්‍රේත ලෝකයේ ඉපදුණි. කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් මෙසේ දුක් විඳින ප්‍රේතයා දැක ‘තා කළ පව් මොනවා දැයි’ විමසා ඇත. එවිට ඒ ප්‍රේතයා ධාතු පූජා කළ තම බිරියට හා දුවට බැණ වදිමින් ධාතුවලට නින්දා කළ බව කියා තිබේ. ඒ පාපයෙන් තම මුඛයත් ශරීරයත් ගඳ ගසන බවත් කටේ පණුවන් ගසා ඇති බවත් කියා ඇති ඒ ප්‍රේතයා වරින් වර පෙර සසරේ කර ඇති පව්කම් පල දෙන බව ද කියා තිබේ. බිරිය හා දුව දෙව්ලොව ඉපදී සැප විඳින බවත් තමා ධාතු වන්දනාව ගැන නුගුණ කීම පාපයක් බවත් ඔහු තවදුරටත් කියා තිබේ.
මේ කථාවලින් පැහැදිලි වන්නේ කුසල් සිත් මුල් කර ගෙන ධාතු වන්දනා කිරීම සසර පුරා සැප විපාක උරුම වීමට හේතු වන බවත් ඒ උතුම් සර්වඥ ධාතුවලට අගෞරව කිරීම නිසා සසර පුරා දුක උරුම වීමට හේතු වන බවත් ය.
බෙල්ලන්විල රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදි කළ කෞශල්‍ය සමරසිංහ අනුස්මරණ ධාතු මන්දිරය
ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කිරීම පමණක් නොව අන්‍යයන්ට බැතියෙන් වන්දනා කිරීමට අවස්ථාව සලසා දීමත් යහපත් විපාක ගෙන දෙන පුණ්‍ය ක්‍රියාවක් බව ඉහත කතාවල විස්තර කොට ඇත. හදිසි අනතුරකින් මෙලොව හැර ගිය කෞශල්‍ය සමරසිංහ තරුණ පුතුට සසර වසනා තෙක් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශාන්ත සුන්දර අමා මහ නිවන් සුව අත්වේවා යන ප්‍රාර්ථනාව ඇතිව කෞශල්‍ය සමරසිංහ දරුවාගේ මව වන දීපානි සමරසිංහ මෑණියන් විසින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව ස්වකීය ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදි කළ “කෞශල්‍ය සමරසිංහ අනුස්මරණ ධාතු මන්දිරය” සමස්ත
ජනතාවට වන්දන මානනය පිණිස පසුගිය 03 වැනි දින පෙ.ව. 9.00ට බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති සහ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක මාගේ ආචාර්යෝත්තම ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ සුරතින් විවෘත විය.
ආචාර්ය බොරලැස්ගමුවේ පේමරත්න ස්ථවිර
විහාරාධිකාරී බෙල්ලන්විල රාජමහා විහාරය