Monday, April 21, 2025
Home » බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස විදේශීය හස්තයක්

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස විදේශීය හස්තයක්

එරට හිටපු ඉන්දීය මහකොමසාරිස් කියයි

by mahesh
August 9, 2024 1:00 am 0 comment

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා විදේශීය හස්තයකින් මෙහෙයවනු ලැබීමේ හැකියාවක් පවතින බව එරට හිටපු ඉන්දීය මහකොමසාරිස් හර්ෂ් ශ්‍රිංග්ලා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයකු ද වන ශ්‍රිංග්ලා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හිටපු අගමැතිනිය ශෙයික් හසිනාට එරෙහි විරෝධතා සහ උද්ඝෝෂණ විදේශ හස්තයක් විසින් පාලනය කරනු ලැබූ බවට අනුමාන කරන බවය. මේ වන විට බංග්ලාදේශයේ පවතින අරාජිකත්වය යළි යථා තත්ත්වයට පත් කර රට ස්ථාවර වීම අසල්වාසී රටක් ලෙස ඉන්දියාවේ බලාපොරොත්තු බවත් බංග්ලාදේශයේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බැලූ බැල්මට එම ගැටුම් හා විරෝධතා බංග්ලාදේශයේ සරසවි සිසුන් විසින් ආරම්භ කරනු ලැබූ අරගලයක් බව පෙනුණ ද, ඊට යටින් ආර්ථික සාධක රැසක් පෙන්නුම් කෙරෙන බවත් ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ශෙයික් හසීනා රටින් පිටවීමෙන් පසු ඇය නායකත්වය දැරූ අවාමි ලීග් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයන්ගේ නිවාස හා දේපළ රැසක් ගිනි තබා විනාශ කර ඇතැයිද, ඇතැම් ප්‍රදේශවල අවාමි ලීග් පක්ෂයේ නායකයන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නිවාස තුළදීම ගින්නට බිලි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හසීනා රටින් පිටවීමෙන් පසු ගතවූ දෙදින තුළ අවාමි ලීග් පක්ෂ රජයේ සමීපතම ව්‍යාපාරිකයන්ගේ නිවාස රැසක්ද ප්‍රචණ්ඩකාරින් විසින් ගිනි තබා විනාශ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT