Monday, April 21, 2025
Home » මේ අපේ දශකාභිෂේක නාට්‍ය උලෙළයි

මේ අපේ දශකාභිෂේක නාට්‍ය උලෙළයි

ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර්

by mahesh
August 9, 2024 1:00 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ (CITF) මේ මස 24 දා සිට 30 දා දක්වා කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි අධ්‍යක්ෂ ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර් සමඟ ඒ පිළිබඳව අපි දැන් වැඩිදුරටත් කතා කරමු.

මෙවර උලෙළ විශේෂ වෙන හැටි?

10 වැනි වරටයි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පැවැත්වීමට කටයුතු සංවිධාන කරන්නේ. ඒත්, අපි අවුරුදු 13ක් තිස්සේ මේ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. අර්බුද, වසංගත හමුවේ අපට 2020 සිට 2022 දක්වා මෙය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැනේ. මේ වැඩේ ලෙහෙසි පහසු නැහැ. ඒක කවුරුත් දන්නවා. හැබැයි මෙරට එකම ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නාට්‍ය කලාවට හිතැති සුළු පිරිසකගේ එකමුතුවෙන් මෙහෙම පවත්වාගෙන එනවා. දකුණු ආසියාවේ එකම තරගකාරි සම්මාන දෙන උළෙලත් මෙයයි. ඒ, හොඳම නාට්‍ය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම පිටපත, ජූරියේ විශේෂ සම්මානය ආදී වශයෙන්. ඉතින්, මේ අපේ දශකාභිෂේක නාට්‍ය උලෙළයි.

කොළඹ, මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී මෙම අගෝස්තු මස 24 දා සිට 30 දා තෙක් දිනපතා රාත්‍රි 6.30 සහ 7.30ට පැවැත්වෙන කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළේදී දිනකට දෙක බැගින් පැවැත්වෙන එකිනෙකට වෙනස් නාට්‍ය දර්ශන එකම ටිකට් පතකින් නැරඹීමට මෙවර අවස්ථාව සලසා දී තිබෙනවා. මේ උලෙළේ සියලු නාට්‍ය සහන ගාස්තු යටතේ එකම ප්‍රවේශ පත්‍රයකින් නැරඹීමටත් ඉඩහසර සලසා දී තිබෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට එම හැඳුනුම්පත ඉදිරිපත් කළ විට 50%ක අඩු ගාස්තුවකට ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා.

එසේම, මෙවරත් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට රටවල් 10ක් නියෝජනය කරමින් නාට්‍ය කණ්ඩායම් 16ක් මෙරටට පැමිණීමට නියමිතයි. ඉන්දියාව, ක්‍රොඒෂියාව, රොමේනියාව, ඉතාලිය, ඉරානය, ඊශ්‍රායලය, බංග්ලාදේශය, අමෙරිකාව, පෝලන්තය රටවල් ඒ අතර වෙනවා. විශේෂ ආරාධිත, ජාත්‍යන්තර නාට්‍යකරු වශයෙන් මෙවර ග්‍රීසියේ ඇතන්ස්හි දියෝනීසියස් රඟහල භාරව කටයුතු කරන, සිසි පපතානාසියු මහත්මිය සහභාගි වෙනවා. ඇතන්ස්හි මානව ඉතිහාසය හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය ඇයයි. ඊට අමතරව වෙනදා වගේම විශේෂ කලාකරුවකු මෙවරත් අභිනන්දනය කෙරෙනවා. ඒ වර්ෂ 2012 – 2021 තෙක් කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේ ලේකම්වරයා වශයෙන් අමිල මෙහෙවරක් ඉටු කළ, ජයලත් එස්. ගෝමස්. දැන් ඔහු ජීවතුන් අතර නැහැ. ඒ කලාකරුවා අගය කිරීමටත් මෙවර උලෙළ අවස්ථාවක් කර ගත්තා.

මෙවරත් වැඩමුළු පැවැත්වෙනවාද?

අනිවාර්යයෙන්ම. එය මේ උලෙළේ සුවිශේෂත්වයක්. මෙවරත් සම්මානනීය, ජනප්‍රිය විදෙස් නාට්‍යකරුවන් මෙරටදී වැඩමුළු මාලාවක් 25 දා සිට 30 දා තෙක් පවත්වනවා. රංග කලාවේ විවිධ පැතිකඩ පිළිබඳ තිස්සේ පවත්වන වැඩමුළු 10ක් ඊට අයත්. මේ වන විට අයදුම්පත් කැඳවීම මඟින් ඊට පිරිස් තෝරාගෙන හමාරයි. එපමණක් නොවෙයි. මෙවර තවත් විශේෂ අංගයකුත් වෙනවා. එනම්, කොළඹ නාට්‍ය කථිකාවයි. එමඟින් මෙරටට තවත් දැනුම්, අත්දැකීම් කන්දරාවක් ලැබෙනු නියතයි. අවුරුදු 5කවත් නාට්‍යකරණයේ අත්දැකීම් සහිත අධ්‍යක්ෂවරුන්ට ඒ අවස්ථාව තියෙනවා. ඊට එක් වීමට අදහස් කරන නිර්මාණකරුවන් අපට ඒ වග දැනුම් දීමෙන් ඒ අවස්ථාව සලසා දිය හැකියි.

ඉතින්, අපි රොමේනියාවට, ….. ආදි වශයෙන් පිටරටවලට ගිහින් නාට්‍යයක් නරඹන්න කොතරම් වෙහෙසක්, වියදමක් ඕනෑද? හැබැයි මෙන්න, කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රඟහලට ඒ රටවල නාට්‍ය ගෙනැවිත් තියෙනවා. මේ අවස්ථාව මඟ නොහැර විඳ ගන්න එන්නැයි අපි හැමෝටම ආරාධනා කරනවා. අපේ ඇතැමුන්ට එතරම් අගයක් නැති වුණත් අන්තර්ජාතික වශයෙන් නාට්‍ය කලාවට ඉහළ පිළිගැනීමක්, ආකර්ෂණයක් තියෙනවා. මේ උලෙළ නිමා වෙද්දීම ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අන්තර්ජාතික නාට්‍ය උලෙළක් සැප්තැම්බර් 3 දා ඇරඹෙනවා. මෙහි එන නාට්‍ය කණ්ඩායම් ගණනාවක්ම ඊටත් සහභාගි වීමේ අපේක්ෂාව ඇතිවයි මෙහි පැමිණ සිටින්නේ.

ඉකුත්දා ඔබ කොරියානු සංචාරයක් නිමා කර පැමිණි බවටත් ආරංචියි?

ඔව්. ඒ, දකුණු කොරියානු නාට්‍ය ආයතනයේ ආරාධනාවකට අනුවයි. වාර්ෂිකව එරට අන්තර්ජාතික නාට්‍ය උලෙළ උත්කර්ෂවත්ව පවත්වනවා. තියටර් විලේජ් විදිහට නම් කෙරුණු එරට එක් ප්‍රදේශයක වර්ග කිලෝමීටර් 2ක් ඇතුළත රංග ශාලා 100ක් පිහිටුවා තියෙනවා. එහි එක් නගරයකට මේ අන්තර්ජාතික උලෙළ පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ වසර 10 – 15කට වරක්. එක නගරයකින් පසුව අනෙක් නගරයට ඉකුත් වර්ෂයේදී නාට්‍ය උලෙළ පැවැත්වීමේ වගකීම පැවරෙනවා. එහෙම නාට්‍ය සංස්කෘතියක් අපේ රටේ නැහැ. අපි එහි විපාක අත්විඳිමින් සිටින්නේ. තමන්ගේ තෘප්තිය වෙනුවෙන් නාට්‍ය කරන සුළු පිරිසක් පමණයි අපේ රටේ ඉන්නේ.

අනෙක, මේ උලෙළ සංවිධාන කිරීමත් විශාල වගකීමක් නේද?

පළමු විදෙස් නාට්‍යකරුවා මෙරටට පැමිණි දින පටන් උලෙළ අවසානයේදී අවසන් නාට්‍යකරුවා පිටත්ව යන තෙක්ම එය එසේමයි. එහිදී ගුවන් ටිකට්පත් ආදියත් සපයා ගෙන මෙරටට එන ඒ කලාකරුවන්ට අප හැකි උපරිම වශයෙන් පහසුකම් සලසා දී තියෙනවා. හැබැයි, මේ විදේශ විනිමය අර්බුදයක් ඇති මෙකල රටට කළ ආයෝජනයක්. ඇත්තෙන්ම 30 දෙනකුගෙන් පමණ සමන්විත වන විදෙස් නාට්‍ය කණ්ඩායම් නියෝජනය කරන හැමෝම විදේශ විනිමය රැගෙනයි මෙරටට එන්නේ.

ප්‍රවේශපත්‍රයක් මිල දී ගෙන මේ උලෙළ නැරඹීමට පැමිණෙන හැමෝම ඒ මෙහෙවරේ කොටස්කරුවන් වෙනවා.

අපි කුඩා කණ්ඩායමක් විදිහට වුණත් එහෙම දෙයක් රට වෙනුවෙන් කරන්නට ලැබීම ගැන හුඟක් සතුටු වෙනවා. ඒත් බලධාරීන් තවම ඒ පිළිබඳ හරිහැටි තේරුම් ගත් බවක් පෙනෙන්නට නැහැ. ඒ කොහොම වුණත් අපි අපේ ගමන යනවා. සමහරු මේ ගමනට එකතු වෙනවා. තවත් අය අතරමඟදී බැස යනවා. තවත් අය අප එනතුරු මඟ බලා හිඳිනවා. අපි මේ වෙනුවෙන් දැනටමත් ජීවිත කාලයෙන් 1/5ක් ගෙවා දමා හමාරයි. ඉදිරියටත් හැකි උපරිමයෙන් මේ වෙනුවෙන් කැප වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT