ඉකුත් ජූනි මාසයේ මුල් සතියේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් ප්‍රදේශයන්හි ළිං ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා Chevron Lubricants Lanka PLC (CLLP) සමාගම විසින් ඇමරිකානු ඩොලර් 35,000ක පරිත්‍යාගයක් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත සිදු කිරීමට අදහස් කර ඇති බව දැනුම් දෙන ලදී. ඒ අනුව, කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවලට ගංවතුරින් සිදු වූ හානිය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයන්හි ළිං 1500 ක් පිරිසිදු කිරීම සඳහා එම පරිත්‍යාගය සිදුකෙරෙනු ඇත.
ගංවතුරෙන් විපතට පත් දිස්ත්‍රික්කවල පවුල් 1500ක් සඳහා (ආසන්න වශයෙන් පුද්ගලයින් 7,500 කට) ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන මඟින් කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම අවදානම් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන පුද්ගලයින් සිටින පවුල් සඳහා ප්‍රමුඛතාව හිමි වේ.
ප්‍රධාන වශයෙන්ම ගංවතුරින් විපතට පත් ප්‍රජාවට නැවතත් පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කරගනිමින් දියත් කෙරෙන මෙම ළිං පිරීසිදු කිරීමේ වැඩසටහන ඔස්සේ අපිරිසිදු ජලය මඟින් බෝවන රෝග තත්ත්වයන් වළක්වා මහජනතාවගේ සෞඛ්‍ය නැංවීමට කටයුතු කිරීම අපේක්ෂාවයි.
“ශ්‍රී ලංකාවේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජීවිත හා ආදායම් මාර්ග අහිමිවීම ඇත්තෙන්ම කනගාටුවට කාරණයක්. වගකිවයුතු ආයතනයක් ලෙසින් අපි, මෙවැනි තත්ත්වයන්වලදී විපතට පත් ජනතාවට මානුෂීය ආධාර පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ සහන හා ප්‍රතිසාධන වැඩකටයුතුවලට
සහය දීමට කැප වෙනවා” යනුවෙන් Chevron Lubricants Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී බර්ට්‍රම් පෝල් මහතා පැවසීය.
ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ සභාපති කේ. බාලක්‍රිෂ්ණන් මහතා ද මෙලෙස අදහස් දැක්විය. “මෙම ළිං පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා Chevron සමාගම පරිත්‍යාගශීලි සහයෝගය අප වෙත ලබාදීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. මේ සහයෝගිතාව සමගින් පිරිසිදු පානීය ජලය සහ හදිසි සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය තවත් පවුල්වලට සහය දැක්වීමට අපට හැකියාව සැලසෙනවා. එම ජනතාවගේ ජීවිත නැවතත් හැඩගස්වාගෙන, පෙර පරිදි ගෞරවණීයව ජීවත් වීමට මේ ඔස්සේ හැකියාව සැලසේවි යැයි අපි අපේක්ෂා කරනවා.”