මෙයට වසර 15කට පෙර මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා ගැනීමේ වරදට වරදකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (08) බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් නියම කළේය.
නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී ලිවේරා සහ තවත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු මහාධිකරණ විනිසුරුවරයා විසින් ඔවුන්ට එරෙහිව නඟා තිබුණු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණ.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ඊයේ (08) නඩුව කැඳවූ අවස්ථාවේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියමව සිටින වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන එම දඬුවම් නියෝග සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දැන්වීය.
එහි තීන්දුව ද ඊයේ (08) ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන බැවින් මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස බන්ධනාගාරය කරුණු දැක්වීම කළේය. ඒ පිළිබඳ කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු දැඩි ආරක්ෂාව යටතේ බන්ධනාගාරය මඟින් විත්තිකරුවන් නඩු විභාගයට ඉදිරිපත් කරන ලදි. නඩුවේ 8 වැනි විත්තිකරු වන ශාන්ත ලලිත් විතාන යන අය දියවැඩියා රෝගී තත්ත්වය මත එක් පාදයක් කපා දැමීම නිසා පොලිස් රෝහලේ පසුවන බැවින් ඔහු නැතිව නඩුව විභාග වේ. 2009 වර්ෂයේ අගෝස්තු 04 වැනිදා සිට 21 වැනිදා අතර කාලය තුළදී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුන රාමනායක පැහැරගෙන ගොස් පහර දීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 32, 113 (අ), 102, 333 සමඟ කියවිය යුතු 356 වැනි වරද යටතේ චෝදනා නඟා තිබිණි. චුදිතයන්ට අධිචෝදනා 13ක් යටතේ 2016 වසරේ ජූනි 28 වැනිදා චෝදනාපත්‍ර භාරදීම කර ඇත. අයුතු ලෙස සිරකර තබා ගැනීම, පැහැරගෙන යෑම, නීති විරෝධීව රඳවා තබා ගැනීම, පොදු අරමුණක් යටතේ නිතී විරෝධී රැස්වීමක ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීම, සුළු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබුණු චෝදනාවන්ය.
දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (08) පිටු 69කින් යුත් නඩු තීන්දුව විවෘත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරමින් විත්තිකරුවන් වැරැදිකරුවන් බවට තීන්දු කරනු ලැබීය. නඩුවේ 1,2 සහ 5 වැනි විත්තිකරුවන් වන කම්මනිගේ ඉන්දික පුෂ්පකුමාර, පාසන්නාදිගේ දමිත් ප්‍රියංකර ද සිල්වා යන පොලිස් නිලධාරීන් සහ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩිමල් පුත් රවිඳු වාස් ගුණවර්ධන යන ඔවුන්ට එරෙහිව නඟා තිබුණු 1,4,7, 8 යන චෝදනාවලට වරදකරුවන් විය.
නඩුවේ 7 වැනි චුදිත වන හිටපු නියෝජ්‍ය පොලිස්පති ආනන්ද වාස් පටබැඳි ජිනේන්ද්‍ර ද වාස් ගුණවර්ධන වින්දිත නිපුණ රාමනායක සිසුවා කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස රඳවා තබා ගැනීමේ අධිචෝදනා පත්‍රයේ 9 වැනි වරදට චෝදනාව නඟා තිබිණි.
නඩුවේ 8 වැනි චුදිත වන ශාන්ත ලලිත් විතාන යන පොලිස් නිලධාරියාට එරෙහිව නඟා තිබුණු චෝදනාව වූයේ පොලිස් පොත්වල අසත්‍ය ලෙස පිටවීමේ සටහන් යෙදීම සහ නිපුණ රාමනායක අත්අඩංගුවට ගත් බවට අසත්‍ය සටහන් යෙදීමය. චුදිත එම
12 සහ 13 වැනි චෝදනාවලට වරදකරු කෙරිණ.
මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් වරදකරුවන් කිරීමෙන් පසු දඬුවම් නියම කිරීමට පෙර පැමිණිල්ලට හා විත්ති පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාව දුන්නේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම කළේය.
එක් චුදිතයකු හැර අනෙක් සියලු විත්තිකරුවන් පොලිස් නිලධාරීන් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහජන ආරක්ෂාව සැපයීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කර්තව්‍යයක් බව පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක විත්තිකරුවන් උසස් අධ්‍යාපනය ලබන සිසුවකු පැහැරගෙන ගොස් සිරකර තැබීම ඉතාම තදබල කාරණයක් ලෙස දක්වා සිටියේය. එබැවින් රටේ නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන බව පෙනී යන ආකාරයේ දඬුවමක් විත්තිකරුවන්ට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා මන්ද්‍රි කාරක කරුණු ඉදිරිපත් කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂක නිලධාරියකු ලෙස රට වෙනුවෙන් විශාල සේවයක් කර ඇති තැනැත්තකු බව කියා සිටියේය. ඔහු යුද්ධය පැවැති අවස්ථාවේ ක්‍රියාන්විත රාජකාරිවල නිරත වූවකු බව පෙන්වා දුන්නේය.
අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කරුණු දක්වමින් ඔවුන්ට වෙනත් චෝදනා නැති බව හා ඔවුන් දරු පවුල්කරුවන් බව දක්වා යළි සමාජගත විය හැකි ආකාරයේ දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බලා අධිකරණය දඬුවම් නියම කිරීම කළේය. ඒ අනුව රවිඳු වාස් ගුණවර්ධන ඇතුළු 1,2 හා 5 වැනි විත්තිකරුවන්ට චෝදනා 4කට බරපතළ වැඩ ඇතිව වසර 10ක සිරදඬුවමක් වසර 4කින් එකවර ගෙවෙන පරිදි දඬුවම් නියම කළේය. එයට අමතරව රුපියල් 42,000ක දඩ මුදලක් නියම කර එය නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් දඬුවමක් නියම කළේය.
මෙයට අමතරව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බරපතළ වැඩ ඇතිව වසර 4ක දඬුවමක් හා රුපියල් 20,000ක දඩයක් නියම විය. නඩුවේ 8 වැනි විත්තිකරු වන ශාන්ත ලලිත් විතාන යන අයට චෝදනා 2ක් සඳහා බරපතළ වැඩ සහිතව වසර 8ක සිරදඬුවමක් එකවර වසර 4කින් ගෙවෙන පරිදි දඬුවම් නියම කර අමතරව රුපියල් 40,000ක දඩ මුදලක් නියම කළේය. එම විත්තිකරු පොලිස් රෝහලෙන් වහාම බන්ධනාගාරයට රැගෙන යන ලෙස අධිකරණය නියම කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවීය. 1,2,4,8 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සමඟ නීතිඥ උවිදු ජයසිරි සහ නීතිඥ චතුනිකා විතාරණ යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. 3,5,6,7 වැනි විත්තිකරුවන් වෙනුවෙන් බුද්ධික තිලකරත්න, තරුෂි ගමගේ, දිනෙරු බණ්ඩාර සමඟ දර්ශන කුරුප්පු යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.