පොල් වගාවට බලපාන සුදු මැස්සා, රතු කුරුමිණියා ඇතුළු කෘමි හානි මෙන්ම පොල් වගාව සම්බන්ධ ගැටලු දැනුම් දීම සඳහා 1916 ක්ෂණික දුරකතන අංකයක් සහ Coconut App නමින් යෙදවුමක් පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් හඳුන්වාදී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) මෙම දුරකතන අංකය සහ යෙදවුම එළිදැක්විණි.
මෙම ක්ෂණික දුරකතන අංකය මඟින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පිළිතුරු ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණදෙන රෝග තත්ත්වයන් ඇතුළු ඕනෑම ගැටලුවකටත් වගාව සාර්ථක කර ගැනීම හා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ආදි කරුණුවලටත් 1916 අමතා විසඳුම් ලබා ගැනීමේ පහසුකම මේ අනුව ඊයේ (05) දින සිට ක්‍රියාත්මකය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ මෙරටේ සුළු, මධ්‍ය සහ මහාපරිමාණ වශයෙන් පොල් වගාවේ නියුතු වගාකරුවන් සැමදෙනාම අද මුහුණපාන ගැටලුවක් වී ඇත්තේ පොල් වගාව තුළ ව්‍යාප්ත වන විවිධ රෝග සහ කෘමි හානි බවයි. විශේෂයෙන් සුදු මැස්සා, රතු කුරුමිණියා, කළු කුරුමිණියා සහ වැලිගම පොල් කොළ රෝගය ඒ අතර ප්‍රධාන වන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පොල් වගාවට පොහොර යෙදීම විධිමත් පරිදි සිදුවන්නේ නැහැ. වර්තමානයේ මෙරට පොල් නිෂ්පාදනය වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් එම ප්‍රමාණය මිලියන 3600 දක්වා ඉහළ නංවාලීම අපේ ඉලක්කයයි. මෙම ඉලක්කය ජය ගැනීමට තාක්ෂණය සමඟ බද්ධ වූ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී 1916 තාක්ෂණික දුරකතන අංකයට කතා කළ ඇමැතිවරයා සුදු මැස්සාගේ හානිය පිළිබඳ කරුණු විමසනු ලැබූ අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරියකු දුරකතනයට සම්බන්ධ වෙමින් ඇමැතිවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ලැබීය.
බුද්ධිකා ඉඹුලාන
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න