Home » ෆොන්සේකා ඇප බඳී – මුළු ගණන 17යි

ෆොන්සේකා ඇප බඳී – මුළු ගණන 17යි

by sachintha
August 6, 2024 3:09 am 0 comment

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ කොමිසම හමුවේ ඊයේ (05) ඇප මුදල් තැන්පත් කළේය. මීට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක සහ ස්වාධීන අරුණලු ජනතා පෙරමුණ වෙනුවෙන් කේ.ආර්. ක්‍රිෂාන් මහත්වරුන් ද ඊයේ (05) ඇප මුදල් තැන්පත් කර තිබේ. මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 17ක් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පිළිගත් දේශපාලන පක්ෂ 09ක්, වෙනත් පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයන් 07ක් මේ අතර වෙති.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න, අබිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂධ ලක්මාල් අනිල් හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සඳහා ඒ.එස්.පී. ලියනගේ, කේ. ආනන්ද කුලරත්න මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙසත් නව සිහළ උරුමයේ සරත් මනමේන්ද්‍ර මහතාත් ජනසෙත පෙරමුණ වෙනුවෙන් බත්තරමුල්ල සීලරතන හිමියන් සහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස අක්මීමන දයාරත්න හිමියන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාත් ස්වාධීන අපේක්ෂකයන් ලෙස කේ.කේ. පියදාස මහතාත් එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතාත් රුහුණු ජනතා පෙරමුණ වෙනුවෙන් අජන්ත ද සිල්වා මහතාත් මැතිවරණ කොමිසම හමුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලබන අගෝස්තු 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළ යුතු වන අතර අනෙකුත් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT