අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) තීන්දු කළේය. ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලද අතර පක්ෂ විපක්ෂව ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිද්ගල විනිසුරු මඬුල්ල දෙකට එකක් වන බහුතර තීන්දුව මත මෙම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණ.
වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම පෙත්සම ගොනුකළ වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.
ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නැති බවට ඉකුත් මැයි මස 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තීන්දුවක් ලබාදුන් බවත් එම නඩු තීන්දුව ලබාදීමෙන් අනතුරුව ඉකුත් 09 වැනිදා ඇය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් එම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ බවත් නීතිඥවරයා එහිදී සඳහන් කළේය.
තමන් සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පිළිගැනීමට නොහැකි බවට සහ එම නඩු තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවට ඇය විසින් කරන ලද ප්‍රකාශය මඟින් අධිකරණයේ ගෞරවයට හා ප්‍රතිරූපයට විශාල හානියක් සිදු කර ඇති බවට නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය.
යම් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ හැකියාව ඇතත් අධිකරණයේ ගෞරවයට සහ ප්‍රතිරූපයට හානිවන පරිදි ප්‍රකාශ කිරීම හෝ විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 (1) යටතේ දඬුවම් ලැබියහැකි වරදක් බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය.
දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්ව තිබීමක් සම්බන්ධයෙන් මහජනතාව තුළ වැරැදි වැටහීමක් ඇති කිරීමට එම ප්‍රකාශය හේතුවූ බවට නීතිඥවරයා සඳහන් කළේය. අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට පුළුවන්කමක් නැති බවට වගඋත්තරකාරිය විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු පිළිනොගැනීම සාමාන්‍යකරණයකට ලක්වූ බවද නීතිඥවරයා සඳහන් කළේය.
කිසිවකු විසින් අධිකරණයේ ස්වාධීනත්වයට ගෞරවයට සහ ප්‍රතිරූපයට හානි නොකළ යුතු බවට නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය.
වගඋත්තරකාරිය අදාළ ප්‍රකාශය සිදු කිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ඇයට දඬුවම් නියම කරන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරු වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ ප්‍රකාශ කිරීම මඟින් අධිකරණයට කිසිදු අපහාසයක් කිරීමේ චේතනාවක් වගඋත්තරකාරියට නොතිබූ බවය.
අධිකරණ තීන්දුව පිළිගන්නා බවට එම මාධ්‍ය හමුවේදීම ඇය පසුව කරන ලද ප්‍රකාශ මඟින් එය වඩාත් තහවුරු වන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම තීන්දුව විවේචනය කිරීම වගඋත්තරකාරියගේ අපේක්ෂාව නොවූ බව ද එම තීන්දුවට පසුබිම් වූ පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා බලපෑ සමගි ජන බලවේගයේ නායකයා, මහලේකම්වරයා ඇතුළු කිහිපදෙනකු එක්වී සිදු කරන ලද දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම එහිදී ඇගේ අපේක්ෂාව වූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
කෙසේ වුවද මෙම වගඋත්තරකාරියට එරෙහි අපරාධ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අතර එකී නඩුවෙහි ඉදිරිපත් චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකාරිය බවට ඇය පසුගියදා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.
වගඋත්තරකාරියගේ නිර්දෝෂීභාවය එම නඩුවට අදාළව ඔප්පු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
කෙසේ වුවද මෙම මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශය මඟින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් වගඋත්තරකාරියට නොවූ බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම ඉවත දැමීමට තීරණය කළහ. නීතිඥ ධර්මරාසා ධර්මජා මහත්මියගේ උපදෙස් මත නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර