රෝගය සුව කිරීමට ප්‍රථම රෝගියාගේ තත්ත්වය හා රෝග මූලය පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ යුතු වන්නා සේ කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික පසුබෑම යථාවත් කිරීමට නම් එහි හේතු පාදකවලට විසඳුම් ලබා දිය යුතුය. අප රටක් වශයෙන් බාහිර බංකොලොත්භාවයට මුහුණ දුන් අතර එයට හේතු වූයේ කරමින් පැවති ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයන් ය. බාහිර බංකොලොත්භාවයට මූලික හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ ඉහළ වෙළෙඳ හිඟය හා උග්‍ර ණය බර වේ. නිදහසින් පසු මෙන්ම 1977න් පසුව නිවැරදිව ක්‍රියාත්මක නොකරන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා රජය සුභසාධන ප්‍රතිපත්ති වෙත වැඩි නැඹුරුවක් පැවතීම මෙම අර්බුදයේ එක් කොටසක් වේ.
මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන දායකත්වය පිළිබඳ දීර්ඝ කතිකාවතක් නිර්මාණය වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු මෙරට ආර්ථිකයට අලුත් මාතෘකාවක් නොවුණද ඒ පිළිබඳ සාමාජීය වශයෙන් සිදු කරන විමසා බැලීම් වර්තමානයේ ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මෙරට ආර්ථිකය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. එම්. ඒ. ජයසිංහ මහතා මෙලෙස අදහස් දැක්වූයේය.
වර්තමානයේ දී දැඩි ආර්ථික පසුගාමීත්වයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධීකාරකත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට මත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහිවීමට අදාළ පසුබිම පිළිබඳ කෙටියෙන් හෝ අවධානය යොමු කිරීම වැදගත් ය. එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිතායතනයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සුරක්ෂිත කිරීම, විනිමය අනුපාත ස්ථාවර කිරීම සහ ජාත්‍යන්තර ද්‍රවශීලතාව පුළුල් කිරීම සඳහා 1944 බ්‍රෙටන් වුඩ්ස් සමුළුවේදී ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට සාමාජිකයන් 190කින් සමන්විත ආයතනයකි. 20 වැනි සියවසේ මුල් භාගයේ දී යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ඇති වූ ආර්ථික විනාශයත් සමඟ විනිමය අනුපාත ස්ථාවර කරන නව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමට ලෝක ප්‍රජාවේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1944 ජූලි මාසයේදී රටවල් 29 ක් විසින් අනුමත කිරීමෙන් පසුව, 1945 දෙසැම්බර් 27 දින සිට බලාත්මක වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත විය.
1946 සිට එහි ස්ථිර මූලස්ථානය වොෂින්ටනයේ ස්ථානගත කරමින් මූල්‍ය මෙහෙයුම් 1947 සිට ආරම්භ කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කළ දින සිට, එහි ප්‍රධාන ක්‍රියාකාරකම් වූයේ විනිමය අනුපාත ස්ථාවර කිරීම, සාමාජික රටවල කෙටි කාලීන ගෙවුම් ශේෂ හිඟයන් සඳහා මූල්‍යකරණය සහ ණය ගන්නා රටවලට උපදෙස් හා තාක්ෂණික සහාය ලබා දීමයි. ශ්‍රී ලංකාව 1950 අගෝස්තු 29 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වී ඇති අතර 1965 ජූනි මාසයේ සිට මූල්‍යකරණයන් සඳහා යොමු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට 17 වාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත. එම ණයවලින් 2023 මාර්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක ණය මුදල වඩාත්ම මෑතකාලීනව එකඟ වූ ණය මූල්‍යකරණය වේ. මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් විදේශ මුදල් අර්බුදය 17වන අවස්ථාව ලෙස අරමුදලේ සහනය පැතීමට හේතු පාදක විය.
රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවෙමින් මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගෙන ඇති අතර එහි ප්‍රධාන අරමුණු හතක් ඇත. ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම, රාජ්‍ය ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම, මූල්‍යය ස්ථාවරත්වය සහතික කිරීම, දූෂණ අවදානම් අවම කිරීම, ශ්‍රී ලංකාවේ විභව වර්ධනය ඉහළ නැංවීම හා ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම යනු එම අරමුණු වේ. මෙම අරමුණු සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය 2023න් පසුව විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරමින් පවතින බව අපට දැක ගත හැකිය. එම ප්‍රතිසංස්කරණයන් හමුවේ පොදුවේ සියලුම ශ්‍රී ලාංකිකයන් වුවද විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඉන් පහළ ආදායම් කාණ්ඩවල පුද්ගලයින් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති ආකාරය අපට දැක ගත හැකිය. එකී අපහසුතා හමුවේ ජන සමාජයෙන් නැගෙන පොදු ප්‍රශ්නය වන්නේ පැවති හා පවතින ආර්ථික පසුබෑම යථාවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම නොමැතිව කළ නොහැකි ද ? යන්නයි.
රෝගය සුව කිරීමට ප්‍රථම රෝගියාගේ තත්ත්වය හා රෝග මූලය පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ යුතු වන්නා සේ කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික පසුබෑම යථාවත් කිරීමට නම් එහි හේතු පාදකවලට විසඳුම් ලබා දිය යුතුය. අප රටක් වශයෙන් බාහිර බංකොලොත්භාවයට මුහුණ දුන් අතර එයට හේතු වූයේ කරමින් පැවති ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයන් ය. බාහිර බංකොලොත්භාවයට මූලික හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ ඉහළ වෙළෙඳ හිඟය හා උග්‍ර ණය බර වේ. නිදහසින් පසු මෙන්ම 1977න් පසුව නිවැරදිව ක්‍රියාත්මක නොකරන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා රජය සුභසාධන ප්‍රතිපත්ති වෙත වැඩි නැඹුරුවක් පැවතීම මෙම අර්බුදයේ එක් කොටසක් වේ. දැනට ද සංවර්ධනයේ ඉහළ දායකත්වයක් ලබා ගත හැකි කෘෂිකාර්මික අංශය කෙරෙහි අඩු අවධානයක් යොමු කරමින් සිටින ශ්‍රී ලංකාව සැලකිය යුතු කාර්මික හෝ අගය එකතු කළ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් අපේක්‍ෂා කළ නොහැකි මට්ටමේ පවතියි. අපට අවශ්‍ය වන්නේ විදේශ විනිමය වුවද ඒවා ඉපැයීම වෙනුවෙන් නව ක්‍ෂේත්‍ර සොයා යා යුතු වුවත් පවතින ක්‍ෂේත්‍රවල ඇති දුර්වලතාවන් නිවැරදි කිරීමට ද කටයුතු කළ යුතුය. උදාහරණයක් වශයෙන් දැනට ද අපනයන ආදායමෙන් වැඩි දායකත්වයක් සපයන තේ නිෂ්පාදනය වැඩි කිරීමට හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස තේ වතුවල ඇති මැරුණු තේ ගස් ඉවත් කර නව වගා එක් කිරීමට කටයුතු කළ හැකිය. එමෙන්ම ඇඟලුම් ක්‍ෂේත්‍රය ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ තරගකාරීත්වයකට මුහුණ දී ඇති බැවින් එහි පිරිවැය අඩු කරමින් නව අපනයනකරුවන් සොයා යාම ද අපට කළ හැකිය. ශ්‍රී ලංකාවේ පවතින බහු සංස්කෘතික හා පාරිසරික තත්ත්වයන් හමුවේ ආකර්ෂණීය සංචාරක නැවතුමක් වශයෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය තුළින් විදේශ විනිමය ඌනතාවන් ප්‍රසාරණය සඳහා වැඩි අවස්ථා නිර්මාණය කර ගත හැකිය. තවද, විදේශ සේවා නියුක්ති ක්ෂේත්‍රය ගත් විට වැඩි වශයෙන් නිපුණ ශ්‍රමිකයින් විදේශ සේවා නියුක්තිය වෙත යොමු කිරීමෙන් ද එහි ඵලදායීතාව ඉහළ නංවා ගත හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුය. මේ කුමක් කළත් අපනයන ආදායම ඉහළ ගිය පමණින් ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරිගාමී කළ නොහැකිය. පාලකයන් විසින් බිහි කර ඇති කල්මරන හා පසුගාමී ආර්ථික හා පරිපාලන රටාවන් පිරිසිදු කළ යුතුමය. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් අනුව බදු ප්‍රතිසංස්කරණ ඇති කළ ද ලැබෙන බදු ආදායම ඵලදායී අයුරින් භාවිත කරන්නේ ද යන සාධාරණ සැකය ප්‍රජාව සතුව ඇත. පාලකයන්ගේ අවශ්‍යතා සඳහා ඕනෑ තරම් මුදල් වෙන් කරගන්නා ඔවුන් ආර්ථික පුනර්ජීවනය කෙරෙහි දක්වන්නේ මන්දගාමී හා ජනතාව පෙළන ක්‍රියා පිළිවෙතයි. මේවා වහා නිවැරදි නොවන්නේ නම් ඵලදායී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම අපහසුය.
ශ්‍රී ලංකාව ණය ලබා ගනිමින් දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ද ඒවා සුදු අලියන් බවට පත්ව ඇත. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති භූමියේ ස්ථානගත වුවද ඒවායින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගැන කතා කිරීමේ දී කියන්නට ඇත්තේ කන්දක් විළිලා මී පැටියෙකු වැදුවා වාගේ යන කියමනයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙවර ලැබෙන ණය ද නිසි පරිදි එහි නියාමනයන්ට යටත්ව කළමනාකරණය කළ යුතුය. අප මීට පෙර 16 වතාවක් ඉන් ණය ගත්තද සාර්ථක නොවූ බැවින් මෙවර ඉතා පරිස්සම් විය යුතුය. අපේක්‍ෂිත පරිදි අවපාතයෙන් මිදීමට නම් ඊට හේතු වූ මූලයන් කෙරෙහි අවධානය යොමු කරමින් ණය භාවිත කිරීම වැදගත් වේ. ඉහතින් දක්වන ලද අරමුණු අනුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම සඳහා අරමුදල ලබාදෙන පෙන්වා දීම් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම මෙහිදී වැදගත් වේ. වෙනත් විදේශීය ණයක් ලබා ගත්තාට වඩා මෙහි ඇති වැදගත්කම එයයි. වෙනත් රටක් ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික ණයක් ලබාගත් විට බොහෝ අවස්ථාවලදී සිටින පාලකයන්ගේ අවශ්‍යතාවන්ට ඔවුන්ගේ ප්‍රතිරූප ගොඩනැඟීමට හැකි පරිදි එම ණය භාවිත කිරීම නිසා ණය මුදලට සාපේක්‍ෂව අවම අගයක් ආර්ථික දේහයට එකතු වී ඇත. එය ණය නියාමනයේ දුර්වලතාව හා අපගේ පාලකයන්ගේ ඇති ව්‍යාජතාවයි. නමුත් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දීම මෙන්ම එහි නියාමනය ද එමඟින් සිදුකරන බැවින් අපේක්‍ෂිත ඉලක්ක වෙත යාමට හැකි වෙතැයි සිතිය හැකිය. ගුරුවරයෙකු නොසිටි පන්තියකට ගුරුවරයෙකු පැමිණිය විට සිසුන් පාලනය වන්නා සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පැවතීම ද ණය නියාමනයට වැදගත් වේ. නමුත් මේ සියල්ල තීරණය වන්නේ මෙරට පාලකයන්ගේ සාතිශය දේශමාමක දායකත්වය මතය.
ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාව සුභසාධනවාදී ආර්ථිකයේ සිට නිෂ්පාදන ආර්ථිකයකට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍ය වේ. අප තවමත් බොහෝ පාරිභෝජන භාණ්ඩ ආනයන මත යැපෙන ආර්ථිකයකි. එබැවින් අපගේ නිෂ්පාදන පුළුල් කරමින් අපනයන මට්ටමට ගෙන ඒමත් දේශීය නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කිරීමත් නව නිෂ්පාදන අවස්ථා සොයා යමින් කාර්මික නිෂ්පාදන අංශය ප්‍රසාරණය කිරීමත් කළ යුතුය. දැනටත් කාර්මික අංශයේ දායකත්වය සැලකිය යුතු මට්ටමක නොපවතී. එමෙන්ම ආනයන ක්‍ෂේත්‍රය ගත්විට අප අනවශ්‍ය ආනයන රැසක් මෙරටට ගෙන්වා ගනියි. ඒවා සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වැය කරනු ලබයි. එබැවින් එම තත්ත්වයන් නැවත සමාලෝචනය කළ යුතුය. අපගේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ආදායම් උත්පාදන ක්‍ෂේත්‍ර වශයෙන් පුඑල් කළ හැකිය. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මේවා කෙරෙහි අවධානය යොමු කිරීම මේ අවස්ථාවේ දී වැදගත් වන අතර එයින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දැවැන්ත හිඩැසක්ව පවතින ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අවකාශය සලසා ගත යුතුය. මම මෙහිදී තවත් කාරණයක් වැදගත් කොට දක්වන්න කැමතියි. අප කොතෙකුත් නිෂ්පාදන පුඑල් කළ ද ඒවා සඳහා හොඳ දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළක් පැවතිය යුතුය. සාමාන්‍යයෙන් දේශීය දෑ මිලදී ගැනීමේ ආකල්පයක් අපගේ සමාජය තුළ නිර්මාණය වී නොමැත. එවන් ආකල්පමය පරිවර්තනයක අවශ්‍යතාව ද මෙම මූල්‍ය අරමුදලේ මැදිහත්වීමට අමතරව දියුණු විය යුතුය. නමුත් ඒ සඳහා අපගේ නිෂ්පාදනවල විශ්වසනීයත්වය ද දියුණු විය යුතුය. මෙයින් අදහස් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම තිබූ පමණින් මෙම අර්බුදයෙන් එළියට ඒමට නොහැකි බවය.
සචිනි ඉමල්ෂා උඩවත්ත ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය