Tuesday, April 22, 2025
Home » ටුවරිස්ට් සුරබිදෙන වීම

ටුවරිස්ට් සුරබිදෙන වීම

by sachintha
August 6, 2024 1:00 am 0 comment

සංචාරය සඳහා මේ රටට පැමිණි සුද්දෙකුට “මේ රටට ආවේ ඇයි?” කියා දුක හිතෙන්නේ, ත්‍රිරෝද වධය සහ ටිකට් කරදරය නිසාය. පාරට බැස, අඩි කිහිපයක් ඇවිදින විටම ත්‍රීවීල් පහ හයක් සුද්දා වටේ ‘අට ගැසීමට’ පටන් ගන්නේය. මදුරු වදෙන් බේරීමට දැලට රිංගනවා සේ සමහර සුද්දෝ මේ වධයෙන් බේරීම සඳහා ‘ත්‍රීවීල් එපා’යැයි සිංහලෙන් ලියා ගත් බෝඩ් එකක් පිටේ එල්ලා ගෙන යන්නාහ.

අනික් කරදරය නම් ‘ටිකට්’ ප්‍රශ්නයය. සංචාරකයන් වෙත පෞරාණික ස්ථාන නැරඹීම සඳහා ගාස්තු අයකරන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේය. හැම දෙයකින්ම ආදායමක් උපයා ගත හැකි වග ඇත්තය. එහෙම කියා රුවන්වැලි මහා සෑය, ටිකට් කඩා වන්දනා මාන කිරීමට හෝ නැරඹීම සඳහා ඉඩ දීම මෙම තීරුව අනුමත නොකරන්නේය. විශේෂයෙන්ම මේ රටට පා තබන ලද සංචාරකයා සඳහා වෙනම ටිකට් කැඩීමක් සිදු කිරීම යනු සංචාරක ව්‍යාපාරය සාර්ථක කර ගැනීමක් නොව, තමන් අලෙවිය සඳහා ඇති භාණ්ඩයක් බවට සංචාරකයා වෙත හැඟී යන අවකාශයක් නිර්මාණය කිරීමකි.

රටකට පැමිණීම දැන් ‘අමුතු බැලීමක්’ සඳහා පසුබිම සපයන්නේ නැත. ‘බැලීම’ කියන්නේ දුක, සැප සොයා බැලීමේ සිට යන එන තැන් ආදිය ගැන කාරණා සෙවීමය. තාක්ෂණය පිරිපුන් හෙයින් සහ ලෝකය සෑම දෙයක්ම පාහේ එකම මොඩල් එකට ෆන්ෂන් වන්නේය. ඒ නිසා කාට කොහේ ගියත් අවුලක් නැත. එකම රටාවට වාසය සහ සංචාරය කළ හැක්කේය. මේ ආකාරයට ලෝකය සමතල වන විට, සංචාරකයා වෙත දැනිය යුත්තේ තමන් වෙත වෙනස් ආකාරයක සැලකිල්ලක් ඒ රටේ නොමැති බවය. වෙනස් ආකාරය යනු සංචාරකයා දකින කල්හි සල්ලි ආකරයක් ලෙස අවට සිටින එවුන්ට පෙනී යෑමය. සුද්දෝ මෝඩ හෙයින් අප කියනා ගාණට බඩු මුට්ටු ගන්නා බව, පිරිසක් සිතති. තවත් පිරිසක් සිතන්නේ සුද්දෝ යනු ඩොලර් ආකර බවය. ශ්‍රී ලංකාවට එන සංචාරකයෝ අපට සල්ලි බෙදීම සඳහා එන නත්තල් පප්පලා නොවන බව, මේ රටේ හය හතර නොදන්නා වැඩිහිටියෝ දැන්වත් දැන ගත යුත්තෝය.

එහෙම සල්ලි මලු කරගහ ගෙන කිසිවෙක් දැන් ලෝකයේ සංචාර සිදු කරන්නේ නැත. සිය සංචරණ අත්දැකීම සඳහා බොහෝ විදේශිකයෝ ප්‍රයෝජනයට ගන්නේ බෝනස් එක වැනි අතිරේක ලැබීමකි. නැතහොත් ඒ සඳහාම සැලසුම් කරන ලද වැටුපෙන් වෙන් කරන ලද අතිරේක මුදලකි. ඒ මිස නිධානයක් ගොඩ දමා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයෝ නැත. මේ ආකාරයට පැමිණෙන සියලු දෙනා තමන්ගේ සංචාරක සැලසුම හදන්නේ අඩු මුදලකට වැඩි පහසුකම් ලබා ගැනීමටය. අපේ සමහරු තවම සිතන්නේ සුද්දෝ වනාහි, අපට සුද්දය දැමීම සඳහා මෙහෙට පැමිණෙන ජාතියක් බවය. එහෙම සිතා සුද්දා දකින කල්හි හැම දෙයකම මිල ඩබල් කරන්නේය. හැම දෙයක්ම සුද්දා වෙත ටිකට් කඩා පෙන්වීමට වැර වෑයම් කරන්නේය.

‘ලෝකයේ හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය’ ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇගැයීමට පාත්‍ර වී ඇත්තේ වුවද ඒ ආකාරයට ගෙන්වා දෙන සංචාරකයා වෙත ලබාදෙන සත්කාරය සම්බන්ධයෙන් ගැටලු බොහොමයකි. හොඳම උදාහරණය මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයය.

මේ කාලය සඳහා උඩරට හෝටල් ඇතුළු සංචාරකයා ඉලක්ක කරගත් සියලු ආයතන ලක ලැහැස්ති වන්නේය. පෙරහර නැරඹීම සඳහා ආසන පැනවීමේ සිටම ගසාගෙන කෑම සඳහා යොදා ගන්නේය. ඊයේ මෙම පුවත්පත සිය පළමු පිටුවේම ඒ ගැන සඳහනක් කළේය. දැන් එය දළදා මාලිගාවට පවා ප්‍රශ්නයක් වී ඇත්තේය. කලින් ආසන සියල්ලම පාහේ මුදල් ගෙවා වෙන් කරවාගන්නේය. ආසනයක් අවශ්‍ය කවර අයෙක් වුවත් ඒ සඳහා යායුත්තේ, සියල්ල වෙන් කරගත් කෙනා වෙතය. එතැන් සිට ඕනෑම මිලකට ආසන ලබාදීමේ හැකියාව ඇත්තේ, අර ආකාරයට ‘බුක්’ කරගත් පුද්ගලයා වෙතය. රුපියල් පනස්දාහ දක්වා ආසනයක මිල ඉහළ ගිය විට මිනිස්සු බැණ බැණ යන්නේ දළදා මාලිගාවටය.

මෑත කාලයේ වාර්තාගත සංචාරකයෝ පිරිසක් ලංකාවට ආහ. ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් විය. කාන්තාවන්ට සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි විය. 2024 සඳහා සීඊඕවර්ල්ඩ් සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ජීවිත කාලය තුළ සංචාරය කිරීම සඳහා හොඳම 5 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්විය.

ෆෝබ්ස් සඟරාව 2023 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කළේය. පාස්කු ප්‍රහාර, කොවිඩ් වසංගත, දේශපාලන කළ කෝලාහල, ආර්ථික බංකොලොත්භාවය වැනි දහසක් ප්‍රශ්න මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉබේ පණ ගැසුවේ නැත. ඒ සඳහා සෑහෙන වැර වෑයමක් සංචාරක සංවර්ධන අංශ දරන ලද්දේය. එහෙම ගෙන එන සංචාරකයන් මේ ආකාරයට බලා සිටියදීම කොල්ලකනවා කියන්නේ, එම උත්සාහය තව ටික දිනකින් වතුරේ බවය.

සංචාරකයා යනු අපට ඩොලර් ගෙන එන අවස්ථාවකි. හෙතෙම මේ රටේ කීර්තිය දසත රැගෙන යන්නේය. කට වචනය තරම් බලවත් සන්නිවේදනයක් තවමත් මානවයා සතුව නැත්තේය. ඊළඟ කෙනා වෙත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කට වචනය සහ කමෙන්ට්ස් බලපානා හෙයින්, සංචාරකයා අපහසුතාවට පත් කරන අංශ සියල්ල හඳුනාගෙන, ඒ සඳහා දැඩි පියවර අනවරතව ගත යුත්තේය. මෙවන් ව්‍යසනකාරී චරිත ඇත්තේ අල්පමාත්‍ර වශයෙනි. ඒ සියල්ල සඳහා වහා පිළියමක් යොදනු මැනවි යන්න අපගේ අද දවසේ ඉල්ලීමය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT