Home » දූෂණ විරෝධී පනත මඟින් රාජ්‍ය, පෞද්ගලික අංශයේ කිසිවෙකුටත් අල්ලස් ගැනීමට නොහැකි ලෙස නව නීති සම්මත කර තිබෙනවා
වග දුම්රියපොළේ සිට මොරකැලේ දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹේ

දූෂණ විරෝධී පනත මඟින් රාජ්‍ය, පෞද්ගලික අංශයේ කිසිවෙකුටත් අල්ලස් ගැනීමට නොහැකි ලෙස නව නීති සම්මත කර තිබෙනවා

-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
August 6, 2024 1:02 am 0 comment

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් මාර්ග කි.මී. 1,500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත වග දුම්රිය ස්ථානය අසල සිට වග පින්නවල මොරකැලේ දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දෛනිකව ගමන් ගන්නා මේ මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් ගමනාගමනයට ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මෙලෙස ඉදිකිරීම් ආරම්භ කරන ලදි.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“මා මේ රටේ මහා මාර්ග විෂයභාර අමාත්‍යවරයා. මීට පෙර රටේ මහා මාර්ග ඉදිකිරීම් සිදුවුණේ විවිධ කොන්ත්‍රාත්කරුවන් වෙත විශාල වශයෙන් කොන්ත්‍රාත් ලබාදීම තුළින්. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඒ ඒ මන්ත්‍රීවරයා වෙත වෙන්කර, ඒ ඒ ආසන සඳහා මුදල් වෙන් කර ලබා දී මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් වෙත මේ කටයුතු කරගෙන යෑම සඳහා අවස්ථාව ලබා දුන්නා. නමුත් ජනතාව සිදුකරන චෝදනාවලට අනුව ඔවුන්ගෙන් එම වගකීම නිවැරදි ආකාරයෙන් සිදු නොවන බව පෙනී යනවා. ඉදිකිරීම් ආරම්භ කරන ලද මාර්ග ව්‍යාපෘති අවසන් නොකර එය දිගින් දිගට ඇදී යන බවට ජනතාව දිගින් දිගටම පැමිණිලි සිදු කරනවා. එසේ නම් සිදුකළ හැකි වන්නේ මේ තත්ත්වය මත නැවතත් පැරණි ක්‍රමයටම ගමන් කිරීමයි. පැරණි පුරුදු ආකාරයට පුද්ගලික කොන්ත්‍රත්කරුවන් වෙත ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමට සිදුවනවා. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තීරණ ගැනීමට සිදු වනවා. එසේ නොවුණ හොත් කඩාකප්පල්කාරීන් විසින් කඩප්පල්කාරී තත්ත්වයක්‌ ඇති කිරීමට ඉඩ දීමට හැකියාවක් නැහැ.

“රට තුළ ඇති වී ඇති අලුත් තත්ත්වය මත රාජ්‍ය අංශයේ සාමාජිකයන් හෝ කිසිවකු සොරකම් කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් පමණක් නොව‍ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, දරුවන් පවා තම නිවැරදි වත්කම් හෙළිදරවු කළ යුතුයි. නීත්‍යනුකූල නොවන ආකාරයට ඒවා වැඩිවී තිබුණ හොත් නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක වනවා. එම නීතියට යටත් වන්නේ මහජන නියෝජිතයන් පමණක් නොවෙයි. දූෂණ විරෝධී පනත මඟින් රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් සියලු දෙනාට අල්ලස්, දූෂණ කොමිස් ගැනීමට හැකියාවක් නොලැබෙන ආකාරයෙන් නීති රීති සම්පාදනය කර, සම්මත කර තිබෙනවා.”

සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ මහතා ප්‍රමුඛ හිටපු මහජන නියෝජිතයන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT