Wednesday, April 23, 2025
Home » මැණික්දිවෙල මැදි විදුහලේ සුහුරු පන්ති කාමර ක්‍රීඩාංගණ නවීකරණ ඉල්ලීමට එසැණින් විසඳුම්

මැණික්දිවෙල මැදි විදුහලේ සුහුරු පන්ති කාමර ක්‍රීඩාංගණ නවීකරණ ඉල්ලීමට එසැණින් විසඳුම්

by sachintha
August 6, 2024 1:01 am 0 comment

තම විද්‍යාලයට අඩුපාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා ඒ අවස්ථාවේම පියවර ගත්තේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීමට අවස්ථාව උදා කර දී තිබේ. ඒ අනුව මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ ඊයේ (5) එම ක්ෂේත්‍ර චාරිකාවට එක් වී සිටි අතර, ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වීමට අවස්ථාව ඉල්ලා සිටියහ. කොතරම් කාර්යබහුල වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කතාබහකට එක් වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳවද විමසා බැලීය.

එහිදී තමන්ට සුහුරු පන්ති කාමරයක් සකසා දෙන ලෙසත්, ක්‍රීඩාංගණය නවීකරණය කර දෙන ලෙසත් සිසුන් කළ ඉල්ලීම කෙරේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ කටයුතු කඩිනමින් ඉටු කර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර, යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමටද උපදෙස් දුන්නේය. ‍විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය. මේ අතර සිසුන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද හමුවී සුහද කතාබහක නිරත විය.

පාසලේ අධ්‍යාපන කටයුතු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ක්‍රීඩා මෙන්ම සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහිද අවධානය යොමු කෙරිණි. මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.එම්.ආර්.එස්. වීරසේකර මහතා සහ ආචාර්ය මණ්ඩලයේ හා මවුපියන් කිහිප දෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

චමීර ඇල්ලදෙණිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT