Wednesday, April 23, 2025
Home » ලොරියේ එල්ලුණු පියාව කණුවක හප්පා මැරූ රියැදුරු අත්අඩංගුවට
දුව හප්පා පලා ගිය

ලොරියේ එල්ලුණු පියාව කණුවක හප්පා මැරූ රියැදුරු අත්අඩංගුවට

-ලොරිය මාවෙල ප්‍රදේශයේ සඟවලා

by sachintha
August 5, 2024 1:09 am 0 comment

බළන්ගොඩ නගරයේදී යතුරුපැදියක් අනතුරට ලක්කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලාගිය ලොරි රථයක් පිටුපස ගොස් එම ලොරි රථයේ එල්ලී රථය නවතා ගැනීමට උත්සාහ කළ පියකු විදුලි කණුවක හප්පා මරණයට පත් කර පලාගොස් සැඟව සිටි රියැදුරු පෙරේදා (03) අත්අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලිසිය පවසයි.

මෙම රියැදුරුට එරෙහිව මිනිස් ඝාතන චෝදනා ගොනු කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු බළන්ගොඩ මාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසිය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු අනතුරට ලක් කළ ලොරි රථය මාවෙල ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිස් භාරයට ගත් බව ද බළන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

බළන්ගොඩ නගරයේදී ඉකුත්දා (01) සවස මෙම අනතුර සිදුව තිබිණි. මුලින්ම ලොරි රථයේ යතුරුපැදිය ගැටී තිබේ. එහිදී පියා සමඟ යතුරුපැදියේ ගමන් කළ හත් හැවිරිදි දැරිවිය තුවාල ලබා ඇත. ලොරි රථය නොනවත්වා ධාවනය කරන්නට වූ බැවින් පියා දැරිවිය සහ ඇගේ මව යතුරුපැදියෙන් බස්සවා මහ මඟ තබා ලොරි රථය පස්සේ පන්නා ඇත්තේ රථය නවතා ගැනීමටය. ලොරි රථය නතර කරන ලෙස සංඥා කළ ද නොනවත්වා වේගයෙන් ධාවනය කරන්නට වූ බැවින් යතුරුපැදිකරු යතුරුපැදිය අතහැර ලොරි රථයේ රියැදුරු අසල එල්ලී ඇති බවත් එහිදී ලොරියේ රියැදුරු යතුරුපැදිකරුව විදුලි කණුවක ගැටෙන්නට සලස්සවා ඇති බවත් පොලිසිය කියයි.

බළන්ගොඩ කහටපිටිය මාර්ගයේදී මෙම සිදුවීම වී ඇති බවත් විදුලි කණුවක හැප්පීම හේතුවෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මරණයට පත්ව තිබුණු බවත් පොලිසිය පවසයි. මෙලෙස මරණයට පත්වූයේ පල්ලෙබැද්ද, අම්බැවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ඒ. තිළිණ රංගලාල් නමැති තිස්දෙහැවිරිදි පියෙකි. යතුරුපැදිකරුගේ දියණිය බල්ලකු සපාකා ඇති අතර පියා සහ මව සමඟ යතුරුපැදියෙන් බළන්ගොඩ මූලික රෝහලට පැමිණ එන්නත් ලබාගෙන නැවත අම්බැවිලට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබේ.

ඒ යන අතර නෙල්ලි මිල දී ගැනීමට බළන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරුපැදිය ධාවන කර ඇති අතර එහිදී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි. එවිට දරුවා බළන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කරන මෙන් බිරියට පවසා යතුරුපැදිකරු විසින් බිරියට පවසා පලාගිය ලොරි රථය පිටුපස යතුරුපැදියෙන් කිලෝමීටර කිහිපයක් ලුහුබැඳ ඇති බව ද පොලිසිය කියයි.

අනතුර සිදු කළ ස්ථානයට ගොස් බළන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍ය දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළ අතර බළන්ගොඩ මූලික රෝහලට ද ගොස් සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ ඉකුත්දා (02) පෙරවරුවේ සිදු කළාය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලවා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

අනතුරින් තුවාල ලැබූ දැරිය බළන්ගොඩ මූලික රෝහලේ පළමු වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබන්නීය. මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයි.එල්. රත්නායක මහත්මිය සිදු කළාය.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරු බළන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති අයි.ඒ.එම්. ජයතිස්ස, නුවන් දර්ශන, සැරයන් ජයනාත් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT