Wednesday, April 23, 2025
Home » කුවේට්හි නීතිවිරෝධී මාලිමා ප්‍රසංගයක්

කුවේට්හි නීතිවිරෝධී මාලිමා ප්‍රසංගයක්

by sachintha
August 5, 2024 1:03 am 0 comment

සමනලී ජොලි සීයා ඉන්ද්‍රචාපා උපේඛාත් අත්අඩංගුවට ගත් පිරිස අතර

අත්අඩංගුවට ගත් අයගෙන් දෙදෙනෙක් තවමත් රැඳවුම් භාරයේ

ජාතික ජන බලවේගයට ආධාර එකතු කිරීමේ අරමුණින් එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව විසින් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගිවීමට කුවේට් බලා ගොස් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට පත් සංගීතවේදීහු, කලාකරුවෝ ඇතුළු පිරිසෙහි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් තවමත් අත්අඩංගුවේ පසුවෙති. අත්අඩංගුවට පත් 26 දෙනාගෙන් 24 දෙනෙක් නිදහස් කර ගැනීමට කුවේට්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඊයේ (04) වන විට හැකියාව ලැබී ඇත.

ඊයේ වන විට කුවේට් පොලිසිය විසින් නිදහස් කර නැත්තේ මෙම ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයින් දෙදෙනෙකි. ශ්‍රී ලාංකිකයන් වන ඔවුන් එරට විවිධ ව්‍යාපාරවල නිරතව සිටින අය බව පැවසේ.

Òශ්‍රී ලංකන් සමර් නයිට්ස්Ó ලෙස පුළුල් ප්‍රචාරයක් ‍ෙදමින් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇති අතර එරට බලධාරීන්ගෙන් නිසි අවසර නො‍ෙගන එය සංවිධානය කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම පසුගිය 02දා සිදුව තිබෙන බව එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

සංගීත ප්‍රසංගය එදින පැවැත්වීමට මුලින්ම සැලසුම් කර තිබී ඇත්තේ අම්බාසියා සෙන්ට්‍රල් ස්කූල්හිදීය. පසුව එම ස්ථානය වෙනස් කරමින් කේතාන් කාමල් ස්කූල්හිදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

මෙම ප්‍රසංගයට මෙතර සිට සමනලී ෆොන්සේකා, ජොලි සීයා හෙවත් අප්පුකුට්ටි චන්ද්‍රරතන සිල්වා, ඉන්ද්‍රචාපා ලියනගේ, උපේඛා නිර්මාණි, මුබාරක් ඇතුළු කලාකරුවන් රැසක් කුවේටය වෙත ගොස් තිබිණි. මෙම ප්‍රසංගය පූර්ව ප්‍රචාරයක් පවා කුවේට්හීදී ලබාදී තිබිණි.

මෙරට කලාකරුවන් පිරිසක් කුවේටයේ ප්‍රසංගයකට සහභාගිවීමට ගොස් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් වහාම කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කරමින් එම කලාකරුවන් ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට මැදිහත්වන ලෙස කළ දැනුම්දීමට අනුව මෙතරම් ඉක්මනින්ම ඔවුන්ව නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබුණු බව සඳහන්ය. ශ්‍රී ලාංකේය කළාකරුවන් පැමිණ ඇත්තේ ප්‍රසංගයක් සඳහා පමණක් බවත් ප්‍රසංගය පැවැත්වීමට අවසර ලබාගැනීම් ගැන ඔවුන් දැන නොසිටින බැවින් කලාකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ ගැන කරුණු සලකා බලා කලාකරුවන්ව නිදහස් කර ඇති බවත් එම පිරිස අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ද සිටින බව එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

කුවේට් පොලිස් අත්අඩංගුවේ මේ වන විට පසුවන සංවිධායකයන් සම්බන්ධයෙන් කුවේට් පොලිසිය විමර්ශනයක් පැවැත්වෙන බැවින් එම විමර්ශන අවසන් වීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද තානාපති කාර්යාල තොරතුරු සඳහන් කළේය.

 

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT