ගාල්ල බටපොළ සුභද්‍රාරාමාධිපති බටපොළ නන්ද හිමි අපවත් වී වදාළ බව සාතිශය සංවේගයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දන්වා සිටින්නේය. කලක් රෝගාතුර විසූ පූජ්‍ය බටපොළ නන්ද හිමියන් අපවත් වී වදාළේ පසුගිය ජූලි 31 දා සවස් යාමයේය. නන්ද හිමියන් බටපොළ සුභද්රාරාමාධිපතිත්වයට පත් වූයේ බටපොළ ධම්මරුචි හිමියන් අපවත් වීමෙන් අනතුරුවය.
කොඩිතුවක්කු පේදිරිස් සිල්වා සහ ඒ.එම්. ලෝරනෝනා දෙපළ උන් වහන්සේගේ පියා සහ මව වූ අතර, උන් වහන්සේ දරුවන් තිදෙනකුගෙන් යුක්ත පවුලේ බාල පුතණුවෝ වූහ. 1975 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළු වූ උන් වහන්සේ, 1978 දී එයින් පිට වූයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් සහිතවය. පොලොන්නරු දිස්ත්‍රික්කයේ කවුඩුලුවැව, යාය 8 මයුරපාද විද්‍යාලයට මුල් පත්වීම ලැබු උන්වහන්සේ පසුව කොල්ලුපිටියේ සාන්ත මයිකල් විද්‍යාලයේත් පසුව බටපොළ අනෝමදස්සී කනිෂ්ඨ විද්‍යාලයේත් සේවය කොට අවුරුදු 55 වන විට විශ්‍රාම ගත්හ.
බටපොළ සුභද්‍රාරාමාධිපතිව විසූ බටපොළ අනෝමදස්සී මහානායක හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වූ පූජ්‍ය බටපොළ නන්ද හිමි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායක හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් විය. පූජ්‍ය බටපොළ අනෝමදස්සී හිමිපාණන් දශක ගණනාවක් පුරා රටේත් දකුණු පළාතේත්, විශේෂයෙන් ගාලු දිස්ත්‍රික්කයේත් අධිරාජ්‍ය විරෝධී ජනතාවාදී අරගලයන්ට සම්බන්ධ වෙමින් ලාංකික වමේ ව්‍යාපාරය සමඟ එක්ව ක්‍රියා කළ මහා යතිවරයන් වහන්සේ නමක් වූහ. ලාංකික ප්රගතිශීලි ජනතා ව්‍යාපාරයට ශක්තියක් වෙමින් නායකත්වය දෙමින් උන්වහන්සේ ක්‍රියා කළහ. පසුගිය දා අපවත් වී වදාළ බටපොළ නන්ද හිමියන් හැදුණේ වැඩුණේ පූජ්‍ය බටපොළ අනෝමදස්සී හිමියන්ගේ සෙවණේය.
බටපොළ නන්ද හිමියන් 1975 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේදී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය හරහාය. පසුව තරුණ සම්මේලනයේ හා පක්ෂයේ සාමාජිකත්වය ලැබූ උන්වහන්සේ දීර්ඝ කාලයක් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේද සාමාජිකත්වය දැරූහ. දශක ගණනාවක් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වශයෙන් ක්‍රියා කළ උන්වහන්සේ අපවත් වනතුරුම මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය හෙබවූහ.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ඇති කරගැනීම වෙනුවෙන් උන්වහන්සේ දැඩි ලෙස කැප වී කටයුතු කළහ. උතුරු, නැඟෙනහිර ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවලට වැඩම කරමින් දේශපාලන නායකයන් ඇතුළු බොහෝ පිරිස් සම්බන්ධ කරගනිමින් ජාතික සමගිය ඇති කරගැනීමට උන්වහන්සේ කැප වී ක්‍රියා කළහ. 2004 සුනාමි උවදුර අවස්ථාවේ තෙල්වත්ත පැරැලිය අනතුර සමඟ ඇති වු තත්ත්වය සමනය කරගනිමින්, ජනතාව සුවපත් කරමින් දහස් සංඛ්‍යාත පිරිසකට නවාතැන්, කැම බීම පහසුකම් සැපයුවේ බටපොළ සුභද්‍රාරාම පරිශ්‍රයේදී නන්ද හිමියන්ගේ අධීක්ෂණය සහ ඇල්ම බැල්ම යටතේය.
ප්රජාතන්ත්රීය අයිතීන් සුරැකීමේ සංවිධානයේ නායකත්වය හෙබවූ බටපොළ නන්ද හිමියෝ විවිධ ජනකොටස්වල අයිතිවාසිකම් රැකදීමට පෙරමුණ ගත්හ. අම්බලන්ගොඩ, බටපොළ සහ අවට ප්‍රදේශවල සෑම තරාතිරමකම සමාජීය කටයුතුවලදී උන්වහන්සේ දැක්වූ නායකත්වය සහ දායකත්වය මිල කළ නොහැකි එකකි. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ නායකත්වයේ සිටිමින් විශිෂ්ට කොමියුනිස්ට්වාදියකු වූ උන්වහන්සේ පක්ෂයේ බොහෝ ජාත්‍යන්තර කටයුතුවලටද සම්බන්ධ වී ක්‍රියා කළහ. උන්වහන්සේ සෝවියට් සංගමය, කියුබාව, වියට්නාමය ඇතුළු බොහෝ රටවල සංචාරයන්හි යෙදුණේ පක්ෂය නියෝජනය කරමිනි.
වර්ෂ 1955 අප්‍රේල් මස උපත ලබා 1963දී පැවිදි බිමට ඇතුළු වී වසර 69ක් ආයු වලඳා පූජ්‍ය බටපොළ නන්ද හිමියන් අපවත් වූයේ සැබෑ බෞද්ධ පුත්‍රයකු ලෙසින් මනා ධර්ම චාරිකාවක යෙදී රටේ හා ලෝකයේ ජනතාව වෙනුවෙන් මුළු දිවියම කැප කොට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙමිනි. උන්වහන්සේ අපවත් වූ බව දැනගත් මොහොතේ සිට අපේ පක්ෂයේ ධජය අඩකුඹු කළ අපි බටපොළ නන්ද හිමියන්ගේ පාද නමස්කාරයෙන් සමු ගන්නෙමු.
– වෛද්‍ය ජී. වීරසිංහ ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය