පැරිස් ඔලිම්පික් උලෙළේ පිහිනුම් තරග පැවති ඩිෆෙන්ස් අරීනා පිහිනුම් තටාකය පිළිගත් ප්රමිතීන්වලින් තොර බවට දෙස් විදෙස් පුහුණුකරුවෝ චෝදනා කරති. මේ හේතුවෙන් ලෝකයේ හොඳම පිහිනුම් ක්‍රීඩකයන් බොහොමයකට බලාපොරොත්තුවූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ බවත්, එයට හේතුව පිහිනුම් තටාකයේ මන්දගාමී තත්ත්වය බවත් ලෝක ජල ක්‍රීඩා සංගමයට හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි ලැබෙමින් පවතී.
පිළිගත් ප්රමිතීන් අනුව අන්තර්ජාතික පිහිනුම් තටාකයක ගැඹුර මීටර් 3ක් තිබීම අනිවාර්ය වුවද පැරිස් ඩිෆෙන්ස් අරීනා පිහිනුම් තටාකයේ ගැඹුර මීටර් 2.15කි. තටාකය නොගැඹුරු වන තරමට පිහිනීමේදී ඇති කරවන රළ මතින් කැළඹීම වැඩිවන බවත්, තටාකය මීටර් 3ක ගැඹුරකින් පිහිටි තරමට ජලය සන්සුන්වන බවත් පිහිනුම් විශේෂඥයෝ පෙන්වා දෙති.
කැළඹිලි සහිත ජලයේ පිහිනුම් ක්‍රීඩාවේ යෙදීම අසීරුවන අතර, එවැනි පසුබිමක් තුළදී ස්වභාවිකවම පිටතට විහිදෙන තරංග වැඩි වශයෙන් නිර්මාණය කරන හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි ප්‍රතිරෝධයක් එල්ල වන බවත් ඔවුහු පැහැදිලි කර සිටිති. එබැවින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර නිසි ගැඹුරක් නැති පැරිස් ඩිෆෙන්ස් අරීනා පිහිනුම් තටාකයේ කැළඹිලි සහිත ජලයේ පිහිනීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අඩුවූ බව ලොව අංක එකේ පුහුණුකරුවෝ සඳහන් කර සිටිති.
මෙයට වසර 8කට පෙර පැවති රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී පිහිනුම් ඉසව්වලදී ලෝක වාර්තා 7ක් බිහිවූ අතර, 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී ලෝක වාර්තා 5ක් බිහිවිය. එහෙත් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේදී බිහිවී ඇත්තේ ලෝක වාර්තාවක් පමණි. තවත් සරල උදාහරණයක් ලෙස මීටර් 100 ළය ආර ඉසව්ව සැලකිල්ලට ගතහොත් මෙවර රන් පදක්කම දිනාගත් ඉතාලියේ මාටින් නිකලෝ තත්පර 59.03ක කාලයක් ගැනීම පෙන්වාදිය හැක. එය වෙනත් ඔලිම්පික් පිහිනුම් තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට හෝ තරම් නොවන කාලයකි. 2014 රියෝ ඔලිම්පික් උලෙළේදී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් එංගලන්තයේ ඇඩම් පැටී තත්පර 57.13ක් ගත් අතර, ලෝකඩ පදක්කම දිනූ අමෙරිකාවේ කොඩී මිලර් (තත්පර 58. 87) ද, පැරිස් රන් පදක්කමට වඩා හොඳ කාලයක් දැක්වූවේය. 2020 ඔලිම්පික් උලෙළේදී මීටර් 100 ළය ආර ඉසව්වේ රන් පදක්කමේ කාලය තත්පර 57.37ක් විය.
මේ පිහිනුම් තටාකයේ මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයට එක්වූ ගංගා සෙනවිරත්න මිනිත්තු 1:04.26ක කාලයක් ගත කළ අතර, මීටර් 100 නිදහස් ආර මූලික වටයේ තරගයට එක්වූ කයිල් අබේසිංහ තත්පර 51.42කින් තරගය නිම කළේය. මේ දෙදෙනාම මෙයට පෙර මේ ඉසව්වල පෞද්ගලික හොඳම දක්ෂතා පෙන්වා තිබිණි.
මේ පිළිබඳව පැරිස් ඔලිම්පික් උලෙළට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සිටින වඩාත් අත්දැකීම් බහුල පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසුවේ පිහිනුම් තටාකයේ මන්දගාමී තත්ත්වය පිළිබඳ නැඟෙන මැසිවිලි තමන් ද අනුමත කරන බවයි. “ලෝකයේ මුල් පෙළේ පුහුණුකරුවන් ඩිෆෙන්ස් අරීනා පිහිනුම් තටාකය පිළිබඳ නඟන මැසිවිලි සත්‍ය බව මා පිළිගන්නවා. මා මේ බව කලින් සඳහන් නොකළේ ඇතැම් අය මම නිදහසට කරුණු කියනවා කියා සිතන්න පුළුවන් නිසයි. තටාකයේ ගැඹුර නියමිත පරිදි නෑ. එහෙම වුනාම සියලු ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට එය බලපානවා. නියමිත ප්‍රමිතියෙන් යුත් තටාකයක පිහිනුවා නම් ගංගා හා කයිල් ඔවුන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතා අතරට යනවා. මේ තටාකය අලුතින්ම හදපු එකක්. විවෘත කළේ ඔලිම්පික් උලෙළටයි. මේ වගේ ලොකු වරදක් කොහොම වුනාද කියා හිතන්න බෑ” මනෝජ් අබේසිංහ මහතා පැවසීය.
පැරිස් ඔලිම්පික් උලෙළේ පිහිනුම් තටාකයේ භයානක මන්දගාමී තත්ත්වය උමතුවූ ක්‍රීඩාවක පොරයක් බවට පත්වී ඇතැයි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පවසන අතර, වසර 4කට වරක් පැවැත්වෙන මිහිමත දැවැන්තම ක්‍රීඩා උලෙළට මෙවැනි තත්ත්වයක් උදාවීම කනගාටුවට කරුණක් බවද පෙන්වා දෙති.