යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයන්ට අයත් බෝට්ටුවක් ඊයේ (01) පෙරළීමෙන් එක් ඉන්දීය ධීවරයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා, තවත් අයකු අතුරුදන්ව තිබේ.
නීති විරෝධී ලෙස ඉන්දීය ධීවරයන් බෝට්ටු කීපයකින් උතුරු මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව එම බෝට්ටු අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා යාත්රාවකින් ඒ දෙසට ගොස් තිබේ. නාවික හමුදාව පැමිණෙනු දැක අධික වේගයෙන් ඉන්දීය ධීවර බෝට්ටුවක් යළි ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබියදී පාලනයෙන් ගිලිහුණු බෝට්ටුව පෙරළී ගොස් එහි සිටි ධීවරයන් සිව්දෙනකු මුහුදට වැටී ඇත. මුහුදට වැටුණු ඉන්දීය ධීවරයන් සිව්දෙනාගෙන් තිදෙනකු බේරාගෙන නාවික හමුදාව විසින් යාපනයේ පුංගුඩුතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් ධීවරයකු මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තවමත් රෝහලේ ප්රතිකාර ලබයි. බෝට්ටුවෙන් වැටී අතුරුදන් වූ ධීවරයා සෙවීම පිණිස නාවික හමුදාව හා කන්කසන්තුරේ ධීවරයන් ඩෙල්ෆ්ට් මුහුදු කලාපයේ මෙහෙයුමක් දියත් කොට තිබේ.
පුංගුඩුතිව් පොලිසිය හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.