ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඊයේ (01) ඇප තැන්පත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බව සඳහන් වෙයි.
මේ වන විට ස්වාධීන අපේක්ෂකයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සරත් කීර්තිරත්න යන අය ඇප තැන්පත් කර ඇති අතර අභිනව නිවහල් පෙරමුණෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ.එස්.පී. ලියනගේ සහ සමඟි ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇප තැන්පත් කර තිබේ. ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරනායක, ස්වාධීන අපේක්ෂකයකු ලෙස කේ. කේ. පියදාස, එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය, රුහුණු ජනතා පෙරමුණ වෙනුවෙන් අජන්ත ද සිල්වා මහත්වරුද ඇප තැන්පත් කර ඇත. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණ කටයුතු සිදු කිරීම සඳහා සීමිත කාලයක් තිබෙන බැවින් අවසන් මොහොතේ සිදු වන ගැටලු වළක්වා ගැනීමට කල්වේලා ඇතිව ඇප මුදල් තැන්පත් කරන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටියි.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍යහ්න 12.00න් අවසන් වන අතර අගෝස්තු 15 වැනිදා දක්වා නාමයෝජනා භාර ගැනේ.
ඇප මුදල් තැන්පත් කිරීමේදී පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළ යුතු වන අතර අනෙකුත් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.