ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන අංශ ප්‍රධානියාගේ තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට ඊයේ (01) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ලලිත් පතිනායක මහතා මෙම තනතුරට පත් කර ඇත්තේ ඔහු දැනට දරන මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානී තනතුරට අමතරවය.
මෙම පත් කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ (01) මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.
2024.07.18 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසි වාරයේදී තීරණය කරන ලද පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් පසු ඒ මහතා රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධුරයේ තාවකාලිකව රාජකාරි ඉටු කිරීම සඳහා සුදුසු නිලධාරියකු නම් කර, නිර්දේශ සහිතව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස එදිනම පොලිස්පති දැනුවත් කර ලදි. නමුත් 2024.07.29 වැන දින වන තෙක් ඒ සඳහා පොලිස්පති නිර්දේශ ඉදිරිපත් නොවූ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධුරය සඳහා සුදුසුකම් ලත් නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව පොලිස්පති නිර්දේශ රහිතව ක්‍රියා කළ හැකි ද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසන ලදි.
ඒ අනුව නීතිපති විමසීමෙන් අනතුරුව දැනට පොලිස්පති නිලයේ කටයුතු කිරීම සඳහා නිලධරයකු නැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155උ (1) (අ) වගන්තිය අනුව පොලිස්පති විමසා කටයුතු කිරීමේ අවශ්‍යතාවන් පැනනොනඟින බව පෙන්වා දී ඇත.
ඒ අනුව දැනට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා නිලධරයකු නැති බැවින් එකී කරුණු සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් නැවත දැනුම් දෙනතෙක් ලලිත් පතිනායක මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත) ලෙස දැනට රාජකාරි කරනු ලබන තනතුරේ නිල කටයුතුවලට අමතරව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට ඊයේ (01) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කර ඇත.
මෙම පත් කිරීම යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ප්‍රමුඛතාව අනුව සිදු කර ඇත.