සේවය නිම වී නිවෙසට නොගිය ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් ගම්පොළ ඩිපෝවේ සේවකයකුගේ සිරුර ඩිපෝවට අයත් වැඩපොළේ විශාල වගා ළිඳක තිබී හමු වී ඇති බව ගම්පොළ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පුඩළුඔය ඩන්සිනන්වත්ත පහළ කොටසේ පදිංචි ස්වෛරී මුත්තු රාජේන්ද්‍රන් නමැති තිස් දෙහැවිරිදි එක්දරු පියෙකි.
මොහු ගම්පොළ දැල්පිටිය ඩිපෝවේ සේවය නිම වනතුරු සිට ඇති අතර රාත්‍රී නවයට පමණ නිවෙසේ සිටි ඔහුගේ බිරිය තම සැමියා වැඩ අවසන් කර

මියගිය මුත්තු රාජේන්ද්‍රන්
නිවෙසට නොපැමිණ ඇති බව ඩිපෝවට දන්වා ඇත.
ඩිපෝ ආරක්ෂකයන් විසින් රාත්‍රියේ මොහු සොයා පරීක්ෂණ සිදු කරද්දී ඩිපෝ බිමට හා සේවකයන්ගේ ප්‍රයෝජනයට ජලය ගන්නා විශාල ළිඳේ මොහුගේ සිරුර තිබී රාත්‍රී දහයට පමණ හමුවී ඇත. ඒ අනුව ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇති අතර ගම්පොළ පොලිසිය හා ස්ථානීය පරීක්ෂණ අංශය පැමිණ මෙහි පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය මේ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර එහිදී මූලික සාක්ෂි ලබා දුන් මියගිය අයගේ බිරිය වන විසිපස් හැවිරිදි දේවන් කාර්තිකා පැවසුවේ සැමියාට නිවසේ කිසිම ප්‍රශ්නයක් නොතිබූ බවත් වැඩ අවසන් කර නිවෙසට නොපැමිණි නිසා ඒ ගැන සොයා බැලූ බවත්ය.
ඩිපෝවේ වැඩ බිමට පහළින් කැලෑ පෙදෙසක මේ විශාල ළිඳ ඇති අතර එහි ජලය හෝ මෝටරය බැලීමට මොහු යන බව හෝ කිසිවකුට පවසා නැති බවද මෙහිදී හෙළි විය.
වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී ඊයේ (01) දහවල් මේ සිරුර ගොඩ ගනු ලැබූ අතර මරණ පරීක්ෂණ කටයුතුවලට සිරුර ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස දන්වා සිටියාය.

මියගිය අයගේ බිරිය හා ඥාතීන්
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පොළ අපරාධ අංශය හා ස්ථානීය අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, කාන්තා පොලිස් සැරයන්(2972) ඉනෝකා, (20191) නිලන්ත දැල්පිටිය, වසම භාර පොලිස් නිලධාරී(3787) විජයරත්න නිලධාරිහු මෙහි පරීක්ෂණ පවත්වති.