තම මවගෙන් මවුකිරි බොමින් පෝෂණය වෙමින් සිටි බිලිඳු දරුවකුගේ භාරකාරිත්වය කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරියාගේ වාර්තාවක් පදනම් කරගෙන, අධික ලෙස මත්පැනට සහ ගංජා පානයට පුරුදුව සිටින ස්ත්‍රී දූෂණ නඩුවක විත්තිකරුවකුට පැවරීම අභියෝගයට ලක් කරමින් අදාළ දරුවාගේ මිත්තණිය සහ සීයා විසින් යොමු කර ඇති පෙත්සම මේ මස 5 දා කැඳවීමට නියෝග කළ කැබිතිගොල්ලෑව වැඩබලන දිසා විනිසුරු දිලීෂියා දිසානායක මහත්මිය පෙත්සමේ වගඋත්තරකරුවන්ට එදින අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසටද නියෝග කළාය.
හොරොව්පොතාන, කිව්ලේකඩ, අංක 156 ලිපිනයේ පදිංචිකරුවන් වන මොහොම්මදු රෂාක් සුභානි, මොහොමඩ් ජමාල් මොහොමඩ් සුල්පි සහ මොහොමඩ් සුල්පි ෆාතිමා සුභා යන තිදෙනා ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව වීරසේන මහතා මඟින් කැබිතිගොල්ලෑව දිසා අධිකරණයට යොමු කොට ඇති පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේදීය. මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හොරොව්පොතාන, ගලෙන්බිඳුණුවැව පාර පදිංචිකරුවන් වන ජහබ්දීන් මොහොමඩ් පර්ෂාන් සහ සහබ්දීන් නූර්ජාන් සහ කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි සුසන්ත ඒකනායක සහ උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් සුරීතා පෙරේරා යන අයයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් සිය මූලික කරුණ දැක්වීම්වලදී ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව වීරසේන මහතා අධිකරණයට කියා සිටියේ පළමු සහ දෙවැනි පෙත්සම්කරුවන් දෙදෙනා ප්‍රශ්නගත දරුවා ප්‍රසූත කළ 14 හැවිරිදි මවගේ පියා සහ මව බවයි. පෙත්සමේ දෙවැනි වගඋත්තරකාර ජහබ්දීන් මොහොමඩ් පර්ෂාන් නමැත්තා පෙත්සම්කාර මවුපියන්ගේ 14 හැවිරිදි දැරියක දූෂණය කර ඇය ගැබිනියක බවට පත් කර දරුවකු ප්‍රසූත කිරීමට සැලැස්වූ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු බවද නීතිඥවරයා ප්‍රකාශ කළේය. 14 හැවිරිදි එම දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව හොරොව්පොතාන පොලිසිය විසින් පවරා ඇති නඩුව මේ වන විට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවද නීතිඥවරයා සඳහන් කළේය.
පෙත්සම්කරුවන්ගේ 14 හැවිරිදි දැරිය දූෂණයට කර ගැබිනියක බවට පත් කිරීම හේතුවෙන් ඇය ප්‍රසූත කළ දරුවා කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරියාගේ වාර්තාවක් පදනම් කරගෙන ඇයගෙන් වෙන් කොට, මුල් අවස්ථාවේ පරිවාස භාරයට පත් කොට අභය ළමා නිවාසයේ රඳවා ඇති බවද අධිකරණයට සැල කළ නීතිඥ රංග සුජීව මහතා එලෙස දරුවා පරිවාස භාරයට පත් කර ඇත්තේ කැබිතිගොග්ලෑව පරිවාස නිලධාරිවරයාගේ පරිවාස වාර්තාව සැලකිල්ලට ගෙන බවද කීවේය. දරුවා පරිවාස භාරයේ සිටින අතරතුර කැබිතිගෙල්ලෑව පරිවාස නිලධාරිවරයා මෝසමක් ඉදිරිපත් කරමින් පරිවාස භාරයේ සිටි දරුවා එම දරුවාගේ 14 හැවිරිදි මව දූෂණය කළ බවට චෝදනා ලබා සිටින අධික ලෙස මත්පැන් සහ ගංජා පානයට පුරුදුව සිටින විත්තිකරුට (දරුවාගේ මව දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුට) භාර දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බවද අධිකරණයට කී නීතිඥවරයා එකී පරිවාස වාර්තාවට අනුව පරිවාස භාරයේ සිටි දරුවා එම විත්තිකරුට භාර දී ඇති බවද පවසා සිටියේය. කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරිවරයා විසින් දරුවා වගඋත්තකරුවන්ට භාර දීමට කටයුතු කර ඇත්තේ පෙත්සම්කරුවන්ට (දරුවාගේ මවට මිත්තණියට සහ සීයාට) කිසිදු දනුම් දීමක් නොකරමින් බවද නීතිඥවරයා දන්වා සිටියේය. මේ තත්ත්වයට නිසා දරුවාට අවශ්‍ය පෝෂණය, ආරක්ෂාව, රැකවරණය සහ මානසික සුවය අහිමිව ගොස් ඇති බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා මේ ක්‍රියාව හේතුවෙන් තමා ප්‍රසූත කළ මවගෙන් මවුකිරි බීමට දරුවාට තිබූ අයිතිය පවා අහිමි කර ඇති බවටද චෝදනා කළේය.
ප්‍රශ්නගත දරුවා කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරිවරයාගේ පරිවාස වාර්තාවක් පදනම් කරගෙන මුලින් පරිවාස භාරයට පත් කිරීමටත් පසුව පරිවාස භාරයෙන් ඉවත් කොට අධික ලෙස මත්පැන් සහ ගංජා පානයට පුරුදුව සිටින ස්ත්‍රී දූෂණ නඩුවක විත්තිකරුවකුට භාර දීමේ සිද්ධිය පිළිබඳව උතුරු මැද පරිවාස කොමසාරිස්වරියගෙන් වාර්තාවක් කැඳවීමට නියෝග කරන්නැයි නීතිඥ රංග සුජීව මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ පෙත්සම විභාගයට ගන්නා ලෙස සිය මූලික කරුණු දක්වීම්වලදී අධිකරණයෙන් ඉල්ලා සිටි නීතිඥ රංග සුජීව මහතා ප්‍රශ්නගත දරුවාගේ ස්ථිර නෛතික හා ශාරීරික භාරකාරිත්වය පෙත්සම්කරුවන්ට පැවරීමේ නියෝගයක් නඩු විභාගය අවසානයේ නිකුත් කරන ලෙසද අයැද සිටියේය. මේ නඩුව විභාග කර අවසන් තීන්දුවක් දෙන තෙක් දරුවා පෙත්සම්කරුවන්ට (දරුවාගේ මවගේ මවුපියන්ට) භාර දීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥයා ඉල්ලා සිටියේය. කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් දසනායක මහතාගේ නියෝගයකට අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරිගෙන්ද වාර්තාවක් මේ වන විට කැඳවා තිබේ.