බහු චරිතධාරියකු වන හර්ෂ ආරියසිංහ රුවෙන් දකිනවාට වඩා වැඩ කොටසක් ඉටු කරන කලාකරුවෙකි. සංගීතයෙන්, හඬ කැවීමෙන් ආදී කලාවේ විවිධ පැති ඔස්සේ ඔහු මෙරටට දායාද කළ නිර්මාණ රැසකි. හර්ෂ, මේ දිනවල “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ ජනප්‍රිය ‘කොබවක’ චරිතයටත් පණ පොවයි. එවන් ඔහු සොයා අප ඔහුගේ කොට්ටාවේ නිවෙසට යන විටත් වායෝ සංගීත කණ්ඩායමේ කිහිප දෙනකු සමඟ කතාබහකය. අපි ඒ කටයුත්තට ඉඩ දී මඳක් පසෙකට වෙමු. හරි, දැන් මේ රතු මහත දෙහත හාදයා අප ඉදිරිපිටය.
දැන් බෑන්ඩ්වලට විතර ද සින්දු හදන්නේ?
(සිනාසේ) එහෙම නෑ. මං කලින් ඉඳන්ම ඒ වැඩ කරනවානේ, ‘මී මට බෑ’, ‘සේල ඇඳන්’, ‘නිවන හිනා’, ‘ලන්දේ කංකාරිය’, ‘මාරි මගෙ බාරි’, සින්දුවලට එහෙම කලින් මං මියුසික් කළා. මේ සැරේත් සංගීත්ට වගේම ඒ බෑන්ඩ් එකේ සින්දු කියන අනිත් අයටත් වැඩ ටිකක් කරලා දුන්නා. ඒ හැරෙන්න, කසුන් කල්හාරට ‘සුළඟ ඔබ ද?’ කියන සින්දුවට මියුසික් කළා. කසුන්ටම තව, ආචාර්ය, සෙනේෂ් බණ්ඩාර දිසානායක අධ්‍යක්ෂණය කරන ටෙලිඩ්‍රාමා එකකට ‘කොඳුරයි’ සින්දුවත් කළා. සේනානායක වේරලියද්දට, කීර්ති කේ. රත්නායක ලියූ ‘කෙල්ල ලකලු’ ගීයත්, කිත්සිරි ජයසේකර ගයන, ඩබ්. ජයසිරි ලියූ ‘දිව්‍යාංගනාවී’ සින්දුව හැරෙන්නට මං සංගීතවත් කළ හුඟක් සින්දු මහින්ද කේ. ප්‍රේමසිරි ලිවුවේ.
තව සින්දු හුඟක් තියෙනවා නේද?
ඒ ගැන කතා කරන්න මට බැහැ. ඒකට මට අයිතිවාසිකමක් නැහැනේ. එවෙලේ කළා. දුන්නා, හිනාවුණා එච්චරයි.
දැන් රඟපෑම දිහෑට හැරෙමු ද?
අවුරුදු 11දී ශ්‍රී වික්‍රම නාඩගමෙන් මං රඟපෑමට ආවේ. ඒ කාලේ ‘ඒකාබද්ධ’, ‘මඩ’, වගේ, 60,70,80 දශකවලදී වැඩ ගොඩක හිටියා. ‘අල්ලපු ගෙදර’ නාට්‍යයේ තවම රඟපානවා. රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ නාට්‍ය දෙකක වැඩ ඇවිත් තියෙනවා.
එතකොට සංගීතේ?
ඒක ගෙදරින්මයි ආවේ. ඉස්සර සිකුරාදා, සෙනසුරාදා අපේ තාත්තලා, බාප්පලා ගෙදර පැදුරු පාටි දානවා. කුමාරදාස ආරියසිංහ බාප්පා, ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක්. තව බාප්පා කෙනෙක් අනූෂා හෝල් එකේ ප්‍රොජෙක්ටරේ වැඩ කළේ.
ඒ කට්ටියත් එක්ක අක්කලා, අපි, සින්දු කියනවා. අක්කා නැටුමට ගියාම මටත් නටන්න ආසා හිතිලා මාත් ගියා. වෙස් බඳිනකල්ම නැටුවා. රවිබන්ධු අයියලා එක්ක මං ඒ කාලේ එකට නැටුවා. අනෙක, සංගීතෙට ආසා වුණාට ඕලෙවල් ඇඩ්මිෂන් එක බාර දෙන දවසේ මට ආසා හිතිලා චිත්‍ර කළා. හැබැයි ඒකත් පාස් කර ගත්තා.
ඒත්, පොඩි අය අඳුනන්නේ ඔබේ හඬ?
අපොයි ඔව්. සූටිං මාටිං එකේ ‘ජෝන්’ මං. තව යකාරිගේ තාත්තා, බැට් මෑන් එකේ, ඇල්ෆ්‍රඩ් මං හඬ කවන ජනප්‍රිය කාටුන් චරිත. මේ ආදරයයි කොටස් දහස් ගණනකට හඬකැවීම් කළා. තවමත් කරනවා.
කොහොමද කලාවෙන් ජීවත් වෙන එක ලේසි ද, සින්දු ටික විකුණලා කාර් එකක් ගන්න කාලයක් ලෑස්ති වෙලා හිටියා නේද?
ජීවිතේ අමාරුයි. සමහරු ගෙවීම් කරන්නේ හුඟක් පමාවෙලානේ. අවුරුදු පහ, හය පමා වුණු ඒවාත් තියෙනවා. හැබැයි ඒවා ගෙවනවා. ඒ වෙද්දී මුදලේ වටිනාකමත් අඩු වෙලා. අපි අතින් වියදම් කරන්, බස් එකේ ගිහින් වැඩේ කරලා දීලා එන අයනේ. මං වගේ දහස් ගණනක් හඬකැවීම් ක්ෂේත්‍රයේ ඉන්නවා. අපි ගැන හිතන්න කියලයි ඉල්ලන්නේ. හැබැයි චැනල්වලට, නිෂ්පාදකවරුන්ටත් මෙතැනදී දොස් කියන්න බැහැ.
දවස් 15ක නිවාඩුවකට රට ඉඳන් ඇවිත්ලු නේද මෙහේ නැවතුණේ?
ඒක වේදනාබර කතාවක්. මං 1987 ඉඳන් ජපානයේ හිටියේ. 1991දී දවස් 15කට මෙහේ ආවා. ආවදාට පහුවදා කොළඔදී කේ. කේ. සමන් කුමාර මුණගැහුණා. ඇඟේ උණට මං එයාගෙන් නාට්‍යයක් කරමු ද ඇහැව්වා. එයත් එක පයින් කැමැති වෙලා පහුවදාම වැඩේ පටන් ගත්තා. දවස් 15න් වැඩේ කර ගන්න බැරි වුණා. අවුරුද්දක් රිහර්සල්ම කළා. මට ආපහු ජපන් යන්නත් බැරි වුණා. ඒ ඉඳන් තාම තැනින් තැන මෙහෙම ඉන්නවා ඉතින්. අර නාට්‍යයේ නම ‘යක්ෂයාගේ කිරි සිහිනය’, මංගල දර්ශනයට උතුරන්න ප්‍රේක්ෂකයෝ හිටියා. ඉන් පස්සේ වාර දෙක තුනකින් වැඩේ නැවැත්තුවාණේ. එදා එයින් කිවුව දේ කට්ටියට තේරුණේ නැහැ. හැබැයි අද ඒක තේරිලා තියෙනවා. ඒ කාලේ ලක්ෂ 20ක් විතර ඒ වැඩේට යට කළා. අන්තිමේදී අක්කගේ කනකර ආභරණත් උකස් කළා. ඒවාත් සින්න වෙලා ගියා.
“දෙවෙනි ඉනිමට” ප්‍රතිචාර කොහොමද?
ඉස්මුරුත්තාවට එන තරම්. මං නිදහසේ මඟතොටේ ඇවිද්දා, බස් එකේ යන එන මිනිහා. එහෙම යන්න බැරි තරමට දැන් මිනිස්සු “දෙවෙනි ඉනිම” නිසා මාව දන්නවා. මට ඒ වැඩේ සෙට් කළේ ඒ කතාව ලියන සමන් එදිරිමුණි.
චිත්‍රපටයකට අඬගහලා නැද්ද?
තියෙනවා. දිනේෂ් ප්‍රියසාද්ගේ. තාම වැඩේ පටන් ගත්තේ නෑ. සින්දු දෙකක් එහෙම තියෙනවා කිවුවා.
ආපස්සට හැරී බලද්දී මොකද හිතෙන්නේ?
හරියට මගෙන් වැඩක් කවුරුවත් ගත්තේ නැහැයි කියලා හිතෙනවා. තව සමහරක් ලෝ බජට් වැඩ. එහෙම සමහර වැඩවල, වයලීනය ගහන්න ඕනෑ තැනට ගහන්නේ වෙන භාණ්ඩයක්. එහෙම වැඩ හරියට එන්නේ නැහැ. ඒ කොහොම වුණත්, කවදාහරි කරලා ඉවර කරන්න අධිෂ්ඨාන කරන් ඉන්න වැඩක් තියෙනවා. ඒක ඔපෙරා එකක්.
අවුරුදු දෙකක් රිහසල් කරද්දිනේ කොරෝනා ආවේ. ළමයි 42ක් ඒ වැඩේ එක්ක හිටියා. ඒ අයත් විසිරුණා. එතැනින් වැඩේ තාවකාලිකව නැවතුණා. ඒක, එරික් ඉලයප්ආරච්චි ලිවුවේ. විශ්වවිද්‍යාල, පාසල් විෂය නිර්දේශයටත් තියෙන ඒක මුද්‍රිත පිටපතක් විදියට කරනවාට වඩා ප්රාසාංගිකව එළිදක්වන්නයි අපි උත්සාහ කරන්නේ. ඒත් ඒකට තවම අර්ථපතියෙක් නෑ.