Home » මාස 7ක දරුගැබක් සමඟ ක්‍රීඩිකාවක් කඩු හරඹ කරලා පැරීසියෙන් ආන්දෝලනාත්මක කතාවක්

මාස 7ක දරුගැබක් සමඟ ක්‍රීඩිකාවක් කඩු හරඹ කරලා පැරීසියෙන් ආන්දෝලනාත්මක කතාවක්

by sachintha
August 1, 2024 1:36 am 0 comment

කඩු හරඹ (Fencine) කේවල තරගයක් පවත්වන්නේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනකු අතර පමණි. එහෙත් ඔලිම්පික් කේවල කඩු හරඹ තරගයකට තිදෙනකු පැමිණීම හේතුවෙන් පැරිසියේ දැන් විශාල කතිකාවක් නිර්මාණය වී තිබේ.

වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ 26 හැවිරිදි ඊජිප්තු ජාතික නාඩා හෆීස් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කඩු හරඹ පිටියට මාස හතක වයසැති දරුගැබක් සමඟ පිවිසීමෙන් මේ ආන්දෝලනාත්මක කතාව නිර්මාණය වූවේය.

“වේදිකාවේ ඔබ ක්‍රීඩකයන් දෙදෙනෙකු දුටුවා, ඇත්තටම අපි තුන්දෙනෙක් හිටියා. මම, මගේ ප්‍රතිවාදියා සහ තවමත් ලෝකයට පැමිණ නැති මගේ කුස තුළ සිටින දරුවා” නාඩා හෆීස් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීමෙන් කතාන්දරය එළියට පැමිණියේය.

පැරිසියේ ග්‍රෑන්ඩ් පැලේස්හිදී පැවති මේ තරගයෙන් අමෙරිකාවේ එලිසබෙත් ටර්ටකොව්ස්කි ලකුණු 15-13කින් පරාජය කළ නාඩා අවසන් දහසය දෙනාගේ වටයට පිවිසීමට සමත් වූවාය. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී නාඩාට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි. ප්‍රේක්ෂකයන්ගේ සුබ පැතුම්වලට අත වනමින් ප්‍රතිචාර දක්වන විට ඇය හඬා වැටෙන්නට වූවාය.

“ගර්භණීභාවයේදී ගමන තරමක් දුෂ්කරයි. නමුත් ජීවිතය හා ක්‍රීඩාව සමබර කර ගැනීමේ අරගලය මම අඩු කළේ නෑ. මගේ සැමියා හා පවුලේ අයගේ විශ්වාසය දිනාගෙන මේ තරම් දුර එන්න ලැබීම ගැන මම වාසනාවන්තයි” නාඩා හෆීස් පැවසුවාය.

ප්‍රින්ස් ගුණසේකර ප්‍රංශයේ පැරිස් නුවර සිට…

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT