කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පසුගියදා ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්වූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ගාල්ල රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක්‍රීඩිකාවෝ සිව්දෙනෙක් එක්ව සිටියහ.
එම ක්‍රීඩිකාවන් පිළිගනිමින් ඔවුන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ (31) අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සම්පත් ජයසේන, දේවපතිරාජ ජාතික පාසලේ විදුහල්පති කේ. සෑම් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුහලේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ ඩබ්ලිව්. කවීෂා දිල්හාරි, ජී.පී. සචිනි නිසංසලා, ඩබ්ලිව්. ශෂිනි ගිම්හානි සහ එච්.ජී. කාව්‍යා කාවින්දි මෙසේ උපහාර ලැබූහ. නයාගොඩ රත්ගම පදිංචි කවීෂා දිල්හාරි 2020 වසරේ දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළාය. රත්ගම හන්දිය, රත්ගම පදිංචි සචිනි නිසංසලා 2021 වසරේ විදුහලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වූ අතර, වලහන්දූව, ගාල්ල පදිංචි කාව්‍යා කාවින්දි 2022 වසරේ නායකත්වය දරා ඇත. දැනට 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශෂිනි ගිම්හානි ගම්මැද්දේගොඩ රත්ගම පදිංචිකාරියකි. ඇය ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාවයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණය ලැබූ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනකුම තමන්ගේ විදුහලේ ආදි ශිෂ්‍යාවන් වීමත් එක් අයෙක් තවමත් අධ්‍යාපනය ලබන සිසුවියක් වීමත් මහත් ආඩම්බරයක් බව මෙහිදී අදහස් දැක්වූ විදුහල්පති සෑම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ආසියානු මහද්වීපය තුළ ඉහළට ඔසවා තබමින් රටට මෙන්ම තමන්ගේ විදුහලටත් ගාල්ල දිස්ත්‍රික්කයටත් ඉමහත් ගෞරවයක් ඔවුන් ලබා දී තිබෙන බවත් මේ ජයග්‍රහණයන් පිටුපස සිටි යෝධ හස්තය පුහුණුකරු මහේෂ් සඳරුවන් මහතා බවත් විදුහල්පතිවරයා ප්‍රකාශ කළේය.
ඡායාරූපය – කරන්දෙණිය සමූහ
බළපිටිය විශේෂ
ජයකාන්ත ලියනගේ සහ කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන