Home » ඩග්ලස් දේවානන්දාගේ EPDP සහාය ජනපතිට

ඩග්ලස් දේවානන්දාගේ EPDP සහාය ජනපතිට

by sachintha
August 1, 2024 12:21 am 0 comment

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කොට ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අයියතුරෙයි සිරිරංගේෂ්වරන් මහතා යාපනයේදී ඊයේ (31) පැවසීය.

යාපනය මාධ්‍ය සංගම් ශාලාවේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ජනතා ඡන්දයෙන් සෑම අවස්ථාවකම තේරී පත් වූ EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා වසර තිහක්ම මේ රටේ අමාත්‍යවරයකු වශයෙන් නොකඩවා සේවය කළේ EPDP පක්ෂය නිරන්තරයෙන්ම උතුරු නැඟෙනහිර දෙමළ ජනතව සමඟ සිටින නිසා බව ද අයියතුරෙයි සිරිරංගේෂ්වරන් මහතා පැවසීය.

Òෆෙඩරල් රාජ්‍යයේ ස්වාධීනත්වයÓ යන දේශපාලන ඉලක්කයට අනුකූලව දේශපාලනය තුළින් ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යවරයකු ලෙස ජනතාවට සේවය කරමින් සිටින බවත් ඔහුගේ එකම අවිය හා ශක්තිය දෙමළ ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙවර ජනාධිපතිවරණයට දකුණේ අපේක්ෂකයන් ගණනාවක්ම ඉදිරිපත් වන බවට පෙර ලකුණු පහළ වී ඇති බව සඳහන් කළ ඔහු ඒ කිසිම පක්ෂයක අපේක්ෂකයකුගේ අතකොළුවක් වීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට EPDP පක්ෂයට කිසිදු වුවමනාවක් නැති බව ද අයියතුරෙයි සිරිරංගේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.

EPDP පක්ෂය වැනි හොඳ පක්ෂයක් උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවට ඇති නිසා ඔවුන් තවත් පක්ෂයක නියෝජිතයන් වීමේ අවශ්‍යතාවක් නැති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා EPDP පක්ෂය කවර අවස්ථාවකදීවත් වෙනත් පක්ෂයක හෝ පුද්ගලයකුගේ නියෝජිතයකු නොවන බව ද පැවසීය.

වර්තමානයේදී රටේ තත්ත්වය හා රටේ අනාගතය දෙස බලන විට රට ගොඩ ගැනීමට සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් EPDP පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව මීට බොහෝ කලකට පෙර තීරණය කළ කාරණයක් බව ද අයියතුරෙයි සිරිරංගේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT