ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස සේවය කරමින් සිටියදී විදේශගත වූ තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරි නිමකොට පැමිණීමෙන් පසු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරිවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පැමිණිලි කරමින් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිම්ෂානි ජාසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
මේ වන විට දිවයිනේ සිටින ජ්‍යෙෂ්ඨතම කාන්තා පොලිස් අධිකාරීවරිය වන තමන් යළි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට නියෝග කරන ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනකු ඇතුළු 14 දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම කාන්තා පොලිස් අධිකාරිනිය වන තමන් ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය 2020 දෙසැම්බර් 14 දිනයේ සිට පත් කළ බව පෙත්සම්කාරිය පැවැසුවාය.
එම තනතුරේ කටයුතු කරමින් සිටියදී වසරක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සේවයට එක්වීම සඳහා 2023 ජූනි 15 වැනිදා ඇය විදේශගත වූ බව පෙත්සමෙහි සඳහන් වේ.
එම සේවාව අවසන් වී යළි මෙරටට පැමිණි පෙත්සම්කාරියට අදාළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරය රාජකාරි කිරීමට අවස්ථාව ලබා නොදුන් බව පෙත්සම්කාරිය පැවැසුවාය.
මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී එවැනි තනතුරක් පෙත්සම්කාරියට නොමැති බවට ඔවුන් සඳහන් කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
මෙලෙස වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ තමන්ට කටයුතු කිරීමට අවස්ථාව ලබා නොදීම ඉතා අසාධාරණ, අයුක්තිසහගත සහ අත්තනෝමතික තීරණයක් බවට පෙත්සම්කාරිය චෝදනා කරයි.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 12(2), 14(1) g විධිවිධාන මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීරණය කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පෙත්සම්කාරිය නැවත පත්කරන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
නෙල්කා මැදගෙදර