ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ණය කාඩ්පතක් ඔහුගේ අනුදැනුමකින් තොරව ලබාගෙන පරිහරණය කළැයි කියන සැකකරුවකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 01 උප පොලිස් පරීක්ෂක නිරෝෂන් ලක්මාල් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
තමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි හිටපු මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම යන අය විසින් තම අනුදැනුමකින් සහ කිසිදු අවසරයකින් තොරව මෙම ණය කාඩ්පත පරිහරණය කරනු ලැබ ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අක්‍රමිකතා සිද්ධීන් කිහිපයක් හේතුවෙන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි හිටපු මාධ්‍ය ලේකම්වරයාව සේවයෙන් ඉවත් කර ඇති බව ද පැමිණිලිකාර අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
හිටපු මාධ්‍ය ලේකම්වරයා සේවයෙන් ඉවත් කර සිටියදී තමාට අයත් බැංකු ගිණුමකින් ණය කාඩ්පතකට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් වන ලිපියක් තමා වෙත ලැබුණු බවත් ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙම වංචාව සම්බන්ධයෙන් කරුණු හෙළිවූ බවත් පැමිණිලිකාර අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කර ඇත.
රුපියල් ලක්ෂ පහක ණය සීමාවක් හිමිව තිබූ රාජ්‍ය බැංකුවකට අයත් මෙම ණය කාඩ්පත අදාළ පුද්ගලයා අමාත්‍යවරයාගේ කිසිදු දැනුම් දීමක් හෝ අවසරයකින් තොරව ලබාගෙන විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කර ඇතැයි කරුණු ඉදිරිපත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව, රාජ්‍ය බැංකුවකට අයත් අදාළ ණය කාඩ්පත සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා බැංකු වාර්තා කැඳවීමට අවශ්‍යව ඇති බැවින් ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙස ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.
එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට වැඩිදුර වාර්තාවක් සමඟින් ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පැමිණිලිකාර අමාත්‍යවරයාගේ ණය කාඩ්පත සම්බන්ධයෙන් වන බැංකු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට නියෝග කරමින් අදාළ රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකරුට නියෝගයක් නිකුත් කළේය.
නිමන්ති රණසිංහ