බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ, ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තමන් සහභාගී වූ දෙවැනි තරගයෙන් ද අද පරාජය විය.
ඒ, ස්පාඤ්ඤයේ පබ්ලෝ ඒබියන් හමුවේය.
විරේන් නෙත්තසිංහ සහ පබ්ලෝ ඒබියන් අතර තරගය, පැවැත්වුණේ, ජී කාණ්ඩයෙනි. එහි පළමු වටය ලකුණු 21 ට 9 ක් ලෙස ජය ගැනීමට පබ්ලෝ ඒබියන් සමත්විය.
දෙවැනි වටයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයාට තියුණු තරගයක් ලබාදීමට විරේන් නෙත්තසිංහ සමත් වුවත්, එහි ජය හිමි වුණේ, පබ්ලෝ ඒබියන්ට ය.
ඒ, ලකුණු 21 ට 19 ක් ලෙසය. ඒ අනුව, වට 2 ට බින්දුවක් ලෙස තරගය ජය ගැනීමට පබ්ලෝ ඒබියන් සමත් වුණි.
විරේන් නෙත්තසිංහ, ලොව බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල පසු වන්නේ, 74 වැනි ස්ථානයේය.
තවමත් 20 වැනි වියෙහි පසු වන විරේන් මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් තරග සඳහා සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයාය. විරේන්ට එම පරාජයත් සමග ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් ඉවත් වීමට සිදු විය.