රට විනාශ කළ දේශපාලන වයිරසය නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් දිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (28) සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික හෙද සමුළුව අමතමිනි. මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී එය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ජනාධිපතිවරණය සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් දී තිබෙනවා. අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩ වෙලා. අපේ ආර්ථිකය සුවදායී තත්ත්වයක තිබෙනවාද?
ආර්ථිකයේ කඩා වැටීම සෑම ක්ෂේත්‍රයකටම ගලාගෙන යමින් තිබෙනවා. ආර්ථිකය පමණක් නොවෙයි ජාතියත් අද ලෙඩ ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. ගිය වසරේ මෙරට මරණවලින් එක්ලක්ෂ තිස්හත්දාහක් නැතිනම් මරණවලින් 80%ක් සිදුවී තිබෙන්නේ බෝ නොවන රෝගවලින්. අවුරුදු 35ට වඩා අඩු අයගෙන් 15%ක් දියවැඩියා රෝගයෙන්ද, 35%කට ආසන්න ප්‍රමාණයක් හෘද රෝගවලින්ද පෙළෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජාතිය ලෙඩවී තිබෙනවා. තරුණ පරම්පරාව ලෙඩවී තිබෙනවා. සෑම අතින්ම ලෙඩ වූ රටක්, ලෙඩ වූ ජාතියක්, ලෙඩ වූ ආර්ථිකයක් තිබෙන්නේ.
මේ ලෙඩ සුවපත් කිරීමට දීර්ඝ කාලයක් පුරා විවිධ අත්හදා බැලීම් කරමින් අපේ රටේ ජනතාව ප්‍රයත්න දරා තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පත්වෙලා තිබූ ලෙඩට බෙහෙත් හැටියට තෝරා ගෙන තිබෙන්නේ කෙහෙළියගේ බෙහෙත්. සුව වෙනවා වෙනුවට ලෙඩේ වර්ධනය වෙන බෙහෙත්. ඇසේ යම් පෙනීමේ දෝෂයක් තිබෙනවා නම්, ඒකට බෙහෙතක් ඇතුළු කළාට පසුව ඔහු පූර්ණ අන්ධභාවයට පත්වෙනවා. කෙහෙළියගේ බෙහෙත්.
මේ රට ගොඩගැනීම සඳහා නව ඖෂධයක් අපේ රටට අවශ්‍යයි. ඔබ දන්නවා එකම බෙහෙත දීර්ඝ කාලයක් දීමෙන් ලෙඩේ සුව වෙන්නේ නෑ. එය ලෙඩේ බෙහෙතට පත්තියන් වෙනවා. අපේ රටේ ලෙඩේටත් බෙහෙත් පත්තියන් වෙලා තිබෙන්නේ. ඒ නිසා අලුත් දිසාවකට රට පරිවර්තනය කළ යුතුමයි. අපි ඔබට ආරාධනා කරන්න ආවේ මේ මාවත වෙනස් කරමු කියන යෝජනාව කරන්න.
සමාජ පෙරළියක් සඳහා උඩින් අර්බුදයයි, යටින් අර්බුදයයි දෙකම මෝරන්න ඕනෑ. උඩින් අර්බුදය කියන්නේ පාලක පන්තියට තවදුරටත් සුපුරුදු ආකාරයෙන් තමන්ගේ පාලන බලය පවත්වාගෙන යෑමට නොහැකිවීම. යටින් මතුවෙන අර්බුදය නම්, ජනතාවට සුපුරුදු ආකාරයෙන් තමන්ගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි වීමයි. ඔවුන්ට සුපුරුදු ආකාරයෙන් ආහාර ටික, බෙහෙත් ටික සපයාගන්න, දරුවාට අධ්‍යාපනයක් දෙන්න නොහැකිවී තිබෙනවා. ඒ කියන්නේ සමාජ පෙරළියකට, යුග පරිවර්තනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා.”
උපාලි කරුණාරත්න