Wednesday, April 23, 2025
Home » දේශපාලන මතවලට වැඩ කළොත් යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක්

දේශපාලන මතවලට වැඩ කළොත් යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක්

-මන්ත්‍රී වජිර අබේවර්ධන

by sachintha
July 30, 2024 1:49 am 0 comment

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායානුකූල දේශපාලන මතවාදවලට අනුව කටයුතු කළොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාර ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාව මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක්. සාම්ප්‍රදායික පටු බෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටිනවා.

මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් බව කිව යුතුයි. වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකිවී තිබෙනවා. ඉතිහාසය තුළ අප රටේ කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙනවා.

පැවැති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වුණා. එම නිසා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවාද? එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් සිවිල් සමාජය තුළ ඇති නොවීමට තම ඡන්දය භාවිත කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් මස 21 වැනිදා මහජනතාව ඉදිරියේ තිබෙනවා. සාම්ප්‍රදායානුකූලව තම දේශපාලන මතවාදවලට අනුව කටයුතු කළොත්. කුලවාදී දේශපාලනය ක්‍රියාත්මක කළොත්, ආගම මත කටයුතු කළොත් තුන් වැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම අදාළ පාර්ශ්ව විසින් භාර ගත යුතුව තිබෙනවා. ඒ බව මෙරට දේශපාලන පක්ෂ හොඳින් මතක තබා ගත යුතුයි. පසුගිය සමයේ රට බංකොලොත් වූ අවස්ථාවේ රට නැවත ගොඩනැඟීමේ වගකීම විපක්ෂය විසින් භාර ගත්තේ නෑ. රටේ අනාගතය ගොඩනැඟීමේ වගකීම ඒ අවස්ථාවේදී භාරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස එවකට පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඔහු 2022 ජූලි මස 22 වැනිදා පාර්ලිමේන්තුවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වෙමින් රටේ අනාගතය ගොඩනඟන වගකීම භාර ගත්තා. අනතුරුව වැටුණු රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දුන්නා. ආර්ථික පරිවර්තන පනත ඒ අතරින් විශේෂයි. එයින් බැහැරව කිසිම දේශපාලන පක්ෂයකට කටයුතු කළ නොහැකියි. 2027 වසර වන විට අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කර වසර 5ක් ගත වෙනවා. ආර්ථික පරිවර්තන පනතට අනුව 2027 වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 5%ක තත්ත්වයක පැවැතිය යුතුයි. මෙතෙක් රට පාලනය කළ පක්ෂවලට වගවීමක් නොතිබූ කාරණා සම්බන්ධයෙන් ආර්ථික පරිවර්තන පනත හරහා වගවීමක් ඇති කර තිබෙනවා. එබැවින් ඕනෑම පක්ෂයක් තම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ මේ පනතට අනුව බව පැවැසිය යුතුයි.

ඇතැම් දේශපාලන පක්ෂ තවදුරටත් සාම්ප්‍රදායිකව ජනතාව මුළා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහිදී අය – වැය කාර්යාලය පනත සහ ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි වැදගත් පනත්වල තිබෙන ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් තම ප්‍රතිපත්ති මහජනතාවට ඉදිරිපත් කිරීමින් සිටිනවා. මෙයින් සිදුවන්නේ අපේ රට නැවත ගොඩනැඟීමට නොහැකි වන තත්ත්වයක් ඇති වීම බව මගේ අදහසයි. “

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT