“ජනතාව සමස්ත දේශපාලනඥයන් කෙරෙහිම දක්වන වෛරයට සෑම දේශපාලනඥයකුම පාත්‍ර විය යුතු නෑ. නමුත් අද එම තත්ත්වයට පත්ව තිබෙනවා. ජනතාව දූෂිත දේශපාලනඥයන් මැතිවරණවලදී එළවනවා කියල කිව්වත් ලැයිස්තුවෙන් අන්ත දූෂිතයන් පත්කර යවනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාර්තු 12 ව්‍යාපාරයෙන් කුරුණෑගල බ්ලූස්කයි හෝටල් ශ්‍රවණාගාරයේදී සංවිධාන කර තිබූ ‘පිරිසිදු දේශපාලනයක් සඳහා එක්වෙමු’ මහජන වේදිකාව වැඩසටහනට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“1940 ගණන්වල හිටපු දේශපාලනඥයන් සහ 1977න් පසු බිහි වූ දේශපාලනඥයන් ගිය මාර්ගයේ අවසාන කොටසට දැන් පැමිණ තියෙනවා. ජනතාවට දේශපාලනඥයන් කියන අය අප්‍රසන්න වෙලා. ඒ තරමටම ජනතාවට දේශපාලනඥයා පිළිකුල් වෙලා. මේකයි ජනතාව දේශපාලනඥයා කෙරෙහි දක්වන සැබෑ ප්‍රතිචාරය.
විශාල අරගලයකට මුහුණදී රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඩීසල් නැතිව, කන්න බොන්න නැතිව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර නැතිව මිනිස්සු පාරට බැස්සා. ඒකෙ අවසාන ප්‍රතිඵලය හැටියට ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද ලක්ෂ 69ක් ගත් ජනතාව තමන්ම පත් කර ගත් ජනාධිපතිවරයා පලවා හැර දේශපාලනඥයන් එපා කරවා ඔවුන්ට පාරක තොටක බැහැලා යන්න බැරි තත්ත්වයට පත් කළා. එහෙම දැවැන්ත පෙරළියකින් පසු දැන් ගින්න නිවී තියෙනවා. නමුත් අපි හිතාගෙන හිටියට ගින්න නිවිලා කියලා හොඳටම නිවිලා නෑ. ජනතාව බලාගෙන ඉන්නේ ඡන්ද තියනකම් අපි ඒක ඉවර කරන්නම් කියලා. ඒක හොඳට මතක තියාගෙන වැඩ කළ යුතුයි.
පාර්ලිමේන්තුවේ 225න් අඩුම තරමේ 100ක් වත් ඉන්නවා හොඳ දේශපාලනඥයන්. මට ඒක තේරෙන්නේ නෑ. නමුත් ඒකෙ සැබෑම තත්ත්වය ජනතාව තේරුම්කර දේවි. මේ සමස්ත ක්‍රියාවලියටම අපි වග කියන්න ඕනෙ. ඡන්ද දායකයන් හැටියට ජනතාවත් වග කියන්න ඕනෙ. මේක අපි දෙගොල්ලගේම ප්‍රශ්නයක්. අප මේ තැනට ගේන්න, දේවත්වයෙන් පුදන්න කටයුතු කළෙත් ජනතාව. ඔවුන් පහළට ඇදල දාලා බේරෙ වැවේ නෑව්වෙත් ජනතාව. අර ගීතයක තියෙනවා වාගෙ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි වී නැඟිටින්නේ කියලා. මේක තමයි තිබෙන සැබෑ තත්ත්වය. මේ රටේ දේශපාලනයට හරි මිනිස්සු ටිකක් හදා ගන්න ඕනෙ. මේ කරුණු කාරණා අපි හොඳින් අවබෝධ කර ගත යුතුයි.”
අලව්ව – ජයන්ත දිසානායක