ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පාර්ශ්ව තුනක් නැති බවත්, ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එකම කණ්ඩායමක් පමණක් බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (29) අඟුණකොළපැලැස්සේ පිහිටි ඒ මහතාගේ නිවෙසේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අධිකරණ තීන්දු ගණනාවකින් ඒ බව තහවුරු කර තිබෙනවා. ඊට එරෙහිව කිසිදු කෙනකු උසාවි ගිහින් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩී ඇති බව සමහරු ප්‍රකාශ කරනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇත්තේ එකම එකම කණ්ඩායමක්. එම කණ්ඩායම නම් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම. ඒ අපේ කණ්ඩායම. වෙන කණ්ඩායම් මේ පක්ෂය ඇතුළේ නෑ.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම තනතුරක නෑ. හිටපු සභාපතිවරයා කැමැත්තෙන්ම මේ පක්ෂයෙන් ඉවත් වුණා. ඒ මහතා කැමැති නම් කතා කර පක්ෂයේ අනුශාසකයෙක් ලෙස කටයුතු කරන්න පුළුවන්. මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැන් කතා කිරීමේ කිසිදු තේරුමක් නෑ. පක්ෂ මූලස්ථානය තිබෙන්නේත් අපි යටතේ. අපි සියලු කටයුතු සිදු කරගෙන යනවා.
මීළඟ ජනාධිපතිවරණයේදී අපේ පක්ෂය කටයුතු කරන්නේ කොහොමද යන්න ගැන කතා කිරීමට හෙට (31) අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවත් රැස්වෙනවා. එතැනදී අපි පක්ෂයක් විදියට සහයෝගය දෙන්නේ කාටද කියලා තීන්දු කරනවා. අපි පක්ෂයක් විදියට මිසක් පුද්ගලයන් විදියට තීන්දු තීරණ ගන්නේ නෑ. මේ පක්ෂය තුළ දැනට පාර්ශ්ව දෙක තුනක් නෑ. ඉන්නේ අපේ පාර්ශ්වය විතරයි.”