රටේ වත්මන් ගැටලු විසඳිය හැකි, නිවැරදි දැක්මක් ඇති, පළපුරුදු අපේක්ෂකයකු යැයි රටම පිළි ගන්නා අපේක්ෂකයකුට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
එම තීරණය මෙම මස 31 වැනි දින රටටම හෙළි කරන බව ද ඇමැතිවරයා පවසයි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී නැහැ. දැන් තියෙන්නේ නීත්‍යනුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විතරයි. එම පක්ෂයේ අයිතිය තිබෙන්නේ අපට. ඒ වගේම පක්ෂ මූලස්ථානය තියෙන්නෙත් අප අතේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් විවිධ ප්‍රකාශ කළාට ඒවා වළංගු නැහැ. දැන් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ අපේ අතේ. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය පළ කරන ජනාධිපති අපේක්ෂකයායි. ඒ ගැන අප 31 වැනිදා මුළු රටටම කියනවා. ඒ වගේම මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ නොහැකියි. මොකද අපේ පක්ෂයේ හිටපු සභාපතිතුමා මේ පක්ෂය විනාශ කරලා ගියා.
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන්නේ කාටදැයි තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව. අප තනි පුද්ගලයන් වශයෙන් තීන්දු ගන්නේ නැහැ. අප තීන්දු ගන්නේ පක්ෂයක් වශයෙන්’ යැයි ද අමාත්‍යවරයා කියයි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවිධානයෙන් පසුගියදා (26) අගුණකොළපැලැස්සේදී පැවැති, ගොවීන්ට වායු රයිපල් ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
බුද්ධිකා ඉඹුලාන