ශ්‍රී ලංකාවට තවත් දේශපාලන සටන් – සගයෙක් අහිමි විය. ඒ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාය. ඔහු යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ද, සමානාත්මතාව වෙනුවෙන් ද කොන්දේසි විරහිතව පෙනී සිටියේය. සටන් වැදුණේය. සිය ජීවිත කාලය පුරාවටම තම ප්‍රතිපත්තියෙහි රැඳී සිටි වික්‍රමබාහු සහෝදරයා වසර අසූ එකකට පසු සිය ජීවන ගමන නිමා කරන්නේ කොළඹ ජාතික රෝහලේ වාට්ටුවකදීය. තම දේශපාලන සම්බන්ධතා උපයෝගී කරගෙන සරුසාර ජීවිතයක් ගත කළ හැකිව තිබූ වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා ඒ සියල්ලට වඩා පීඩිත ජනතාව වෙනුවෙන් වචනයකින් හෝ ශක්තියක් වීම වඩා අර්ථවත් බව වටහාගෙන තිබිණි.
එක අතකින් බලන විට ආචාර්ය වික්‍රමබාහු යනු උගතෙකි. වෘත්තීයවේදියෙකි. දේශපාලන බහුශ්‍රැතයෙකි. ඔහු පළමුව සමාජ විප්ලවය වෙනුවෙන් පෙනී සිටියේය. දෙවනුව ඒ වෙනුවෙන් ජනතාව සමඟ පාරට බැස්සේය. තෙවනුව වැඩකරන ජනතාව සංවිධාන කරමින් වෘත්තීය සමිති අරගලයක යෙදුණේය. වරෙක මහ පාරේ අරගලයට නායකත්වය සැපයූ ඔහු තව වරෙක විද්වත් සභාවක් නියෝජනය කළේය. නව ආණ්ඩු පත්කිරීම සඳහා ද බලයේ සිටි ආණ්ඩු ගෙදර යැවීම සඳහා ද ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා හැමවිටම ජනතාවගේ පැත්තේ හිට ගත්තේය.
ඌව පළාතේ, බදුල්ල, ලුනුගල ග්‍රාමයේදී උපත ලබන වික්‍රමබාහු ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන්ය. ද්විතීයික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ය. ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය දිනා ගන්නේ ප්‍රථම පන්තියේ සාමාර්ථයයක්ද සමඟය. පසුව වික්‍රමබාහු සහෝදරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් මත එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගනී. ඒ 1970දීය. ඔහුගේ විෂයය වන්නේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවය. වික්‍රමබාහු සහෝදරයා ක්‍රියාකාරී දේශපාලන සගයකු වන්නේ උපාධි ලබාගන්නට පෙර සිටය. ඔහු 1962 දී ලංකා සමසමාජ පක්ෂයට බැඳී දේශපාලන කටයුතු කරගෙන ගියේ; රැකියා අවස්ථා ගණනාවක් අහිමි කරගනිමින්ය. ඔහුගේ පියා මුදියන්සේ කරුණාරත්නය. මව විමලා කොතලාවලය. දෙදෙනාම ප්‍රභූ පරම්පරාවලට අයත් වූහ.
අප හඳුනන ආචාර්ය වික්‍රමබාහු තුළ චරිත කිහිපයක් ජීවත්වූහ.
(I) න්‍යායවාදියා
(II) මිථ්‍යාවට එරෙහි මිනිසා
(III) මානව හිතවාදියා
(IV) විචාරකයා
(V) අපූරු රසවතා
ඔහු මාක්ස්වාදය හදාරා එම න්‍යාය සමාජ භාවිතයක් කිරීම සඳහා සිය ජීවිත කාලය පුරාවට වෙහෙසුණු වාමවාදියෙකි. ඉතා පැහැදිලි හා නිරවුල් වාග් විලාසයක් ද, ආකර්ෂණීය තර්කනයක්ද සහිතව වේදිකාවට ගොඩවන වික්‍රමබාහු සහෝදරයාට පොදු සමාජය ඉතා හොඳින් සවන් දුන්හ. ඔහුගේ කතා අසන්නට ධනපතියෝද කැමැති වූහ. වික්‍රමබාහු සහෝදරයා කතාවෙන් හෝ තර්කයෙන් හෝ පරාජය කළ නොහැකිය. ඒ ඔහුගේ දැනුම හා අවංකකම නිසා යැයි සිතන්නට පුළුවන.
වික්‍රමබාහු සහෝදරයා 1960 ගණන්වල මෙරට දේශපාලනයට ප්‍රෙව්ශ වූ පැරණි වාමවාදියකු ලෙස හඳුනාගත හැකි වුව ඔහු නූතනවාදී අදහස් හා සංකල්ප හඳුනාගෙන සිටි නම්‍යශීලී උගතෙකි. වික්‍රමබාහු සහෝදරයා තරුණ ප්‍රජාව ආශ්‍රය කළේය. ඔවුන්ගේ කියැවීම් ප්‍රගුණ කළේය. ඔවුන් හා එකට සමගාමීව කටයුතු කළේය. නූතන පරපුර හා වික්‍රමබාහු සහෝදරයා අතර විශාල සමාජ පරතරයක් තිබුණේ නැත. ඔහු තරුණ පරපුර සමඟ සංවාද කළේය. ඇතැම්විට ඔවුන් සතුටු සාගරයකට ගිල්වීමට ද කටයුතු කළේය. වික්‍රමබාහු සහෝදරයාගේ දේශපාලන රසකතා අසන්නට බොහෝ දෙනෙක් කැමැති වූහ. සටනක අවසානයේ සිදුවන අල්ලාප , සල්ලාපයේදී ඒ රසකතා මතුවිය.
වික්‍රමබාහු සහෝදරයා තුළ දක්ෂ සන්නිවේදකයකු හා විශ්ලේෂණාත්මක විචාරකයකු සිටි බව වැඩි දෙනකුගේ මතය වෙයි. එය හරියටම හරිය. වරෙක ඔහු අමරදේවයන්ගේ ප්‍රකට ගීත ගැන විචාර ලියා පත්තරේ පළ කළේය. බන්දුල පද්ම කුමාර මහතාගේ මුල් පිටුව රූපවාහිනී වැඩසටහන ගැන ඔහු තැබූ සටහන එම වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි හොඳම විචාරය යැයි අපිට සිතේ. එහි සිරස්තලය ලෙස යොදා තිබුණේ “පොතේ ගුරු මාක්ස්වාදීන්ටත් – මුල්පිටුව ගැළපෙනවා” යනුවෙන්ය.
“මුල් පිටුව ගැන ලියන්න කියලා බන්දුල කිව්වහම මට පුදුම හිතුණා. මොකද? පසුගිය කාලයේ අපි අතරේ නෝක්කාඩුවක් තිබුණා. වෘත්තීය සමිති වැඩකටයුතු ගැන. ඒවා නොතකා මට ලියන්න කියපු එකට මට සන්තෝෂයි. මොකද? මොන දේශපාලන වෙනස්කම් තිබුණත් මම හැමදාම මුල්පිටුව බලනවා. ඒක කලාවකට – තාලයකට බන්දුල ගෙනයන වැඩසටහනක්. පුවත්පතක තියෙන විවිධ තොරතුරු විමසුම්වලට යොමු කිරීම ඉන් ඉතා සියුම් ලෙස ඉදිරිපත් වෙනවා. මම දන්නෙ නැහැ මේ පත්තරවලට යොමු කරන කලාව බන්දුල දැනගත්තෙ කොහොමද කියලා. ඒක තම වෘත්තීය තුළින්ම උකහාගත් දෙයක්. ඒත් වෙන පත්තරකාරයොත් වැඩේට දැන් බැහැල හිටියට ඒවා එතරම් ලස්සන නැහැ.”
-ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
(මුල්පිටුව < කෘතියෙන්)
කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ආචාර්ය වික්‍රමබාහු වැනි අයට ඇහුම්කන් දුන්නේය. ඒ අනුව විවිධ අසාධාරණකම්වලට ලක් වූ රාජ්‍ය සේවකයෝ හා සාමාන්‍ය ජනතාව බාහු හමුවීමට පැමිණියහ. ඒ රජයට බල කරමින් යුක්තියක් ඉටුකරවා ගැනීමටය. මේ අනුව සෑම දිනකම උදෑසන සිට සන්ධ්‍යාව තෙක්ද, ඇතැම්විට රාත්‍රිය පුරාවටද ඔහු සිය බුද්ධිය මෙහෙයවා කථිකත්වය ප්‍රයෝජනයට ගනිමින් මානව සම්බන්ධතාවල වටිනා ප්‍රතිඵල නෙළා ගත්තේය.
ආරෝහපරිණාහ දේහයකින් යුතුව, නිර්භීත ගමනකින් අරගලවල පෙනී සිටි ආචාර්ය වික්‍රමබාහු අපේ පරපුරේ මතකයට නැඟෙන්නේ පරමාදර්ශී චරිතයක් හැටියටය. දැන් එම පරපුර අවසන් වෙන්නට පටන්ගෙන තිබේ. වික්‍රමබාහු සහෝදරයාගේ අවශ්‍යතාව අද නොව; වඩාත් හොඳින් දැනෙනු ඇත.
රන්ජන් අමරරත්න